ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය

 ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 33.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 45.3ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 45.1හි සිට 2022 මැයි මාසයේ දී සියයට 58.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 23.9හි සිට 2022 මැයි මාසයේ දී සියයට 34.2 දක්වා ඉහළ ගියේය.

2022 මැයි මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 9.67ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 5.41කින් සහ සියයට 4.26කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, එළවළු, නැවුම් මත්ස්‍ය සහ පාන් මිල ගණන් ඉහළ ගියේය.  තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 මැයි මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය/පිළිසකර කිරීම් සහ එල්.පී. ගෑස්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, සහ විවිධ භාණ්ඩ සහ සේවා (මෝටර් රථ රක්‍ෂණ ගාස්තු සහ සබන්)  යන උප කාණ්ඩයන්හි  අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 13.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 16.3 දක්වා ඉහළ ගියේය. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 27.9හි සිට 2022 මැයි මාසයේ දී සියයට 37.7 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 10.2හි සිට 2022 මැයි මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.  

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, June 21, 2022