“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2021” ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2021” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

පසුගිය වසරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශනයේ අන්තර්ගතය, පරිශීලනය වඩාත් පහසු වන ලෙස නැවත පෙළගස්වන ලද අතර, තවත් සංඛ්‍යාන ප්‍රකාශනයට එක් කිරීමට ද කටයුතු කරන ලදී. ඒ අනුව, නව අනුවාදයේ සංඛ්‍යාන වගු ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කර ඇත. එනම්, 'ජාතික ගිණුම්', ආර්ථික හා සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳාම හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය', 'මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොළ','මුදල් අංශය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි.

මුද්‍රිත සහ වෙබ් යන මාධ්‍ය දෙකෙන්ම ලබා ගත හැකි මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ප්‍රකාශනය, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) හා රාජගිරියේ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 58, බැංකු විදු පියෙසෙහි (දුරකථන අංක: 011-2477803) පිහිටුවා ඇති බෙදාහැරීමේ කවුළු වලින් සහ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය හා අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති බෙදාහැරීම් කවුළු වලින් මිල දී ගත හැකිය. තවද මෙහි වෙබ් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

Published Date: 

Friday, July 16, 2021