කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී ඉහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 1.5ක් වාර්තා කරමින් ඉහළ යෑමක් පෙන්නුම් කළේය. 

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 මාර්තු මාසයේ පැවති සියයට 3.8හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 2.9 දක්වා පහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩය 2024 මාර්තු මාසයේ වාර්තා කළ සියයට 0.5ක වාර්ෂික ලක්ෂ්‍යමය අවධමනයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේ දී සියයට 0.9ක උද්ධමනයක් වාර්තා කළේය. මේ අතර, මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළ ගියේය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.32ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.47ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.79ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 මාර්තු මාසයේ පැවති සියයට 3.1හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය.  

කාර්තුමය සාමාන්‍ය උද්ධමනය, 2024 වසරේ මාර්තු මාසයේ පුරෝකථන වාරයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදි කාලීන පුරෝකථන වලට අනුකූල වූ අතර මාසික උද්ධමන දත්ත මගින් පුරෝකථන පථය තහවුරු කෙරේ. සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, ඉදිරි කාල සීමාව තුළදී උද්ධමනය සියයට 5ක උද්ධමන ඉලක්කය ආසන්නයේ ස්ථායී වනු  ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, April 30, 2024