Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත (කල්බදු මූල්‍යකරණ පනත) සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම

කල්බදු මූල්‍යකරණ පාරිභෝගිකයන් සඳහා පවතින ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ කල්බදු මූල්‍යකරණ කර්මාන්තයේ වර්ධනයන් සලකා බලමින් කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පියවර ගනිමින් සිටී.

කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ පුළුල් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා මහජනතාවගේ නීරීක්ෂණ / අදහස් / යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදහස් කර ඇත. යෝජිත සංශෝධන සඳහා වන කෙටුම්පතට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ පනත සබැඳිය හරහා ප්‍රවේශ විය හැක.

සම්පූර්ණ ලිපිය

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 මාර්තු

2022 වසරේ අගෝස්තු මාසයේ සිට වාර්තා වූ ඉහළම ඉපැයීම් වාර්තා කරමින් අපනයන ඉපැයීම්වල සිදු වූ කැපී පෙනෙන වර්ධනය වෙළඳ හිඟය 2024 වසරේ මාර්තු මාසයේ දී, (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත), පහළ යෑම සඳහා උපකාරී විය

මූලිකවම සංචාරක ඉපැයීම්ද ඇතුළුව, 2024 වසරේ මාර්තු මාසයේ දී සේවා අංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, මුහුදු ප්‍රවාහන (භාණ්ඩ) සේවා අංශය වෙතින්ද සැලකිය යුතු ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් වාර්තා වන කාලපරිච්ඡේදයක් වන බැවින් 2024 වසරේ මාර්තු මාසයේ දී එම ප්‍රේෂණ ඉහළ මට්ටමක පැවතුණි.

කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ මාර්තු මාසයේ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

2024 වසරේ මාර්තු මාසයේ දී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.0ක් වූ අතර, එය 2023 වසර අවසානයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 4.4ට සාපේක්ෂව කැපීපෙනෙන වැඩිවීමකි.

කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී ඉහළ යෑමක් පෙන්නුම් කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 1.5ක් වාර්තා කරමින් ඉහළ යෑමක් පෙන්නුම් කළේය. 

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 මාර්තු මාසයේ පැවති සියයට 3.8හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 2.9 දක්වා පහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩය 2024 මාර්තු මාසයේ වාර්තා කළ සියයට 0.5ක වාර්ෂික ලක්ෂ්‍යමය අවධමනයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේ දී සියයට 0.9ක උද්ධමනයක් වාර්තා කළේය. මේ අතර, මාසික පදනම මත මනිනු ලබන උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළ ගියේය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.32ක මිල පහළ යෑම් සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ සියයට 0.47ක මිල පහළ යෑම් හේතුවෙන් 2024 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස සියයට -0.79ක් ලෙස වාර්තා විය. තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමන ප්‍රවණතා පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2024 මාර්තු මාසයේ පැවති සියයට 3.1හි සිට 2024 අප්‍රේල් මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය.  

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2024 මාර්තු

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේ දී දර්ශකාංක 55.9ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය අඛණ්ඩව මෙලෙස තුන්වන මාසය සඳහා ද කඩඉම් මට්ටමට ඉහළ අගයක් වාර්තා කරමින්, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයේ යම් ස්ථායී බවක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, 2024 අප්‍රේල් 29 වන දින කොළඹ දී පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සත්කාරකත්වය දැරීය

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB)  ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2024 අප්‍රේල් 29 දින කොළඹ දී රැස් විය. මෙම සාකච්ඡාවේදී සමීපව අධීක්ෂණය කළ යුතු වූ මෑත කාලීන මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සහ දුර්වලතා පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව, කලාපය පුරා අතත්‍ය (crypto) වත්කම් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි නියාමන රාමුව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ  මෙන්ම කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෑත කාලීන වර්ධනයන්, මූල්‍ය අංශය තුළ එහි භාවිතයන්  සහ මූල්‍ය ස්ථායීතාව සඳහා ඇති බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී. තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මූල්‍ය අවදානම්වලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් කලාපය තුළ සිදුවෙමින් පවතින ප්‍රගතිය සාමාජිකයින් විසින් මෙහි දී සමාලෝචනය කරන ලද අතර, විදේශ ගෙවීම් ක්‍රම වැඩි දියුණු කිරීමේ ප්‍රගතිය සහ ඒවා ඉහළ විනිවිදභාවයක් සහ අන්තර්ගතභාවයක් සහිතව වේගවත් සහ ලාභදායී ලෙස සිදු කිරීමේ දී ඇති ප්‍රධාන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය - 2023 හා මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් - 2023 ප්‍රකාශයට පත් කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ පළමු ප්‍රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023,  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2024 අප්‍රේල් 25) පිළිගන්වන ලදී.

Pages