ශ්‍රී ලංකා මහ බැංකුව, 2024 අප්‍රේල් 29 වන දින කොළඹ දී පැවති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සත්කාරකත්වය දැරීය

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB)  ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2024 අප්‍රේල් 29 දින කොළඹ දී රැස් විය. මෙම සාකච්ඡාවේදී සමීපව අධීක්ෂණය කළ යුතු වූ මෑත කාලීන මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සහ දුර්වලතා පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව, කලාපය පුරා අතත්‍ය (crypto) වත්කම් සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි නියාමන රාමුව ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳ  මෙන්ම කෘතිම බුද්ධිය හා සම්බන්ධ මෑත කාලීන වර්ධනයන්, මූල්‍ය අංශය තුළ එහි භාවිතයන්  සහ මූල්‍ය ස්ථායීතාව සඳහා ඇති බලපෑම් පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී. තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන මූල්‍ය අවදානම්වලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් කලාපය තුළ සිදුවෙමින් පවතින ප්‍රගතිය සාමාජිකයින් විසින් මෙහි දී සමාලෝචනය කරන ලද අතර, විදේශ ගෙවීම් ක්‍රම වැඩි දියුණු කිරීමේ ප්‍රගතිය සහ ඒවා ඉහළ විනිවිදභාවයක් සහ අන්තර්ගතභාවයක් සහිතව වේගවත් සහ ලාභදායී ලෙස සිදු කිරීමේ දී ඇති ප්‍රධාන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ හොංකොං මූල්‍ය අධිකාරියේ (HKMA) ප්‍රධාන විධායක  එඩි යු  මහතා විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය දරන ලදී. බෲනායි දරුස්සලාම්, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල සාමාජිකයින් මෙම රැස්වීමට සහභාගී වූහ. 

මූල්‍ය ස්ථායීතා මණ්ඩල ප්‍රඥප්පතිය යටතේ පිහිටුවා ඇති කලාපීය උපදේශක කණ්ඩායම් හයක් ඇති අතර, මූල්‍ය ස්ථායීතා මණ්ඩල සාමාජික සහ සාමාජික නොවන රටවල මූල්‍ය අධිකාරීන්ගේ එකමුතුවෙන් මූල්‍ය පද්ධති වලට බලපාන දුර්වලතා සහ මූල්‍ය ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ මුලපිරිම පිළිබඳ අදහස් හුවමාරු කර ගනු ලැබේ. මූල්‍ය ස්ථායීතා මණ්ඩලය ජාත්‍යන්තර මට්ටමින් ජාතික මූල්‍ය අධිකාරීන් සහ ජාත්‍යන්තර ප්‍රමිති සැකසීමේ ආයතනවල කටයුතු සම්බන්ධීකරණය කරන අතර මූල්‍ය ස්ථාවරත්වය සඳහා ඵලදායී නියාමන, අධීක්ෂණ සහ මූල්‍ය අංශයේ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරයි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, April 30, 2024