අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනයේ (සියැසන් - SEACEN) සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ (Bank for International Settlements – BIS) උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම

සියැසන් සහ අන්තර්ජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණය සහ සියැසන් විධායක කමිටුවේ 18 වැනි රැස්වීම 2019 වසරේ සැප්තැම්බර් මස 26 සිට 28 දක්වා කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලදී. මෙම සමුළුව සහ රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, සියැසන් සාමාජික මහ බැංකු හා මූල්‍ය අධිකාරීන්හි නියෝජ්‍ය අධිපතිවරු හා නියෝජිතයෝ සහ කීර්තිමත් දේශකයෝ සහභාගි වූහ.

මෙම වසරේ සියැසන් සහ අන්තර්තජාතික පියවීම් බැංකුවේ උසස් මට්ටමේ සම්මන්ත්‍රණයේ තේමාව වූයේ “මහ බැංකුකරණය පිළිබඳ ව වෙනස් ලෙස සිතීම” යන්නයි. මෙම තේමාව යටතේ, නව අභියෝග හා ප්‍රවණතාවන්ට මුහුණ දීම සඳහා මහ බැංකු විසින් භාවිත කරන ප්‍රවේශයන් පිළිබඳ ව නැවත සිතා බලන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව, අන්තර්ජාතික පියවීම් බැංකුව, නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුව (Federal Reserve Bank of New York),ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලය (Council on Economic Policies), ආසියානු ව්‍යාපාර අධ්‍යනායතනය (Asia School of Business) සහ ප්‍රංශයේ සයන්සස් පෝ (Sciences Po Paris)යනාදී ජාත්‍යන්තර ආයතන නියෝජනය කරමින් පැමිණි ප්‍රසිද්ධ දේශකයන් විසින් ඔවුන්ගේ අත්දැකීම් විස්තර කරන ලදී. මේ යටතේ, දේශගුණික වෙනස්වීම්, ඩිජිටල්කරණය, ව්‍යවහාරික විචාරාත්මක චින්තනය (Applied Critical Thinking) සහ උද්ධමන ඉලක්කකරණය යනාදී තේමාවන් පිළිබඳ ව සාකච්ඡා කෙරිණි.

අග්නිදිග ආසියානු මහ බැංකු ආයතනය බෘෘනායි දාරුස්සලාම්, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, හොංකොං, කොරියාව, ලාඕසය, මලයාසියාව, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පැපුවා නිව් ගිනියාව‍, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, චීන තායිපේ, තායිලන්තය සහ වියට්නාමය යන සාමාජික ආර්ථිකයන්හි මහ බැංකු සහ මූල්‍ය අධිකාරීන් 19කගෙන් මෙන් ම අනුබද්ධ සාමාජිකයින් 8 දෙනෙක් සහ නිරීක්ෂකයන් 8 දෙනෙකුගෙන් සමන්විත වේ. 1982 වර්ෂයේ දී පිහිටුවන ලද සියැසන් ආයතනය, ආසියා පැසිෆික් කලාපය තුළ මූල්‍ය, මුදල් හා බැංකු ආශ්‍රිත කරුණු පිළිබඳ ව දැනුම බෙදා ගැනීම සහ ඒ පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 

Published Date: 

Thursday, October 3, 2019