ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 ජූනි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 මැයි මස වාර්තා කළ 60.6ක අගයට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී 57.6ක දර්ශක අගයක් දක්වා අඩු වූ අතර මෙය පසුගිය වසරවල පැවති ප්‍රවණතාවට ද අනුකූල විය. මේ සඳහා, විශේෂයෙන් ම නිෂ්පාදනයේ දක්නට ලැබූ සැළකිය යුතු පහළ යෑම හේතු වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු පහළ යෑම බලපෑවේ ය. මේ අතර, නව ඇණවුම් සහ ගැනුම් තොග ද ජුනි මාසය තුළ පහළ ගියේ ය. කෙ සේ වුව ද, රෙඳිපිළි සහ නිමි ඇඳුම් අංශයේ නව බඳවා ගැනීම් සමස්ත සේවා නියුක්තිය ඉහළ යෑමට හේතු විය. මේ අතර, මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්ව සහ චීනයේ පාරිසරික නීති රීති දැඩි වීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ ගියේ ය. සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර, එ මගින් 2018 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්, 2018 මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් බව පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ ඉහළ වර්ධනයේ දායකත්වයෙන් 2018 මැයි මාසයේ දී වාර්තා වූ 56.9ක දර්ශක අගයට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී 58.7ක දර්ශක අගයක් දක්වා ඉහළ ගියේ ය. ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවා, සෞඛ්‍ය සේවා සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් දක්නට හැකි විය. ප්‍රතිචාර දක්වන්නන් මෙම වර්ධනයට හේතු ලෙස මූල්‍ය සේවා සැපයුම් මාර්ග වැඩිදියුණු වීම සහ රාමසාන් උත්සවය හේතුවෙන් ඉල්ලුම ඉහළ යෑම සඳහන් කර තිබුණි. කෙ සේ වුව ද, ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් 2018 ජුනි මාසයේ දී ප්‍රවාහන අංශයේ වර්ධනය මන්දගාමී විය. ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය සේවා නියුක්තියෙහි 2015 දෙසැම්බර් මස සිට සිදු වූ ඉහළ ම වර්ධනය සඳහා දායකත්වයක් ලබා දුන් අතර මෙය නිම කිරීමට ඇති කාර්යයන්වල පහළ යෑමට ද යම්තාක් දුරකට හේතු විය. මේ අතර, ඉදිරි මාස 3 සඳහා සේවා සපයන්නන්ගේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පිලිබඳ සුබවාදී අපේක්ෂා වැඩි වේගයකින් වර්ධනය වූ අතර ඉදිරියේ දී එළඹෙන සංචාරක සමය හේතුවෙන් නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවාවන්හි මෙය ප්‍රධාන වශයෙන් දක්නට ලැබුණි. ඉන්ධන මිල ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සේවා අංශයේ අයකරන මිල ගණන් ඉහළ ගියේ ය. 2018 වසරේ දී සිදු විය හැකි වැටුප් වර්ධන හේතුවෙන් සේවා අංශයේ අපේක්ෂිත ශ්‍රම පිරිවැය ද ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, July 16, 2018