ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 අප්‍රේල්

සෑම වසරකම අප්‍රේල් මාසයේ  පවතින සාමාන්‍ය පහත වැටීම මෙන්ම වෙනත් බාධාවන් හේතුවෙන් ඇතිවූ පසුබෑමද පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකර‍ැවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටුණි. ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී 36.4ක අගයක් වාර්තා කරමින් පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 21.4කින් පහළ යන ලදී. මේ සඳහා, සෑම වසරකම මෙන් මෙම වසරේදී මාර්තු මාසයේ දී ඉහළ දර්ශකාංක වාර්තා කරන නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන උප දර්ශක අප්‍රේල් මාසයේ සැලකිය යුතු ලෙස පහළ යාම හේතු විය. 

විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු නිෂ්පාදන පහත වැටීම කෙරෙහි, අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් අප්‍රේල් මාසයේ වැ‍ඩ කරන දින ගනන අඩු වීම, පවතින විදුලි කප්පාදුව/බලශක්ති හිඟය ද ඇතුළු සැපයුම් අංශයේ සීමාකම් බලපාන ලදී. නව ඇණවුම් අඩු වීම කෙරෙහි උත්සව සමය අවසන් වීමත් සමග විශේෂයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ  ඉල්ලුම අඩු වීම හේතු විය. අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවා නියුක්තිය උප දර්ශකය ද පෙර මාසයට සාපේක්ෂව පහත වැටුණි. තවද, දේශීය  වෙළඳපොළ තුළින් අවශ්‍ය ප්‍රමාණයට ද්‍රව්‍ය මිලදී ගැනීමට නොමැතිවීම සහ අමුද්‍රව්‍ය ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් තොග මිලදී ගැනුම් පහළ යන ලදී. අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් සිය නිෂ්පාදන කටයුතු සීමා කිරීමට සිදු වූ බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය 2022 අප්‍රේල් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ ගිය අතර මේ සඳහා, ජ‍ාත්‍යන්තර සැපයුම් ජාලයේ ගැටලු,  විදේශ විනිමය ගෙවීම් ගැටලු හේතුවෙන් වරායෙන් භාණ්ඩ නිදහස් කරගැනීමේ ප්‍රමාදයන් සහ ඩීසල් හිඟය හේතු විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 17, 2022