ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 දෙසැම්බර්

2019 දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩු වේගයකින් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 54.3ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උප දර්ශක 2019 නොවැම්බර් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද වර්ධනයක් පෙන්නුම් කළේ ය. නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක අඩු වේගයකින් ඉහළ යාම කෙරෙහි රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි දක්නට ලැබුණු මන්දගාමී වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම, විශේෂයෙන් ම රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි රැකියා නියුක්තියේ සැළකිය යුතු අඩු වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ අඩු වර්ධනය කෙරෙහි ද මෙම සේවා නියුක්තියේ දක්නට ලැබුණු මන්දගාමීත්වය යම් දුරකට බලපා ඇත.

තව ද, නව ඇණවුම් සහ නිෂ්පාදන අඩු වේගයකින් වර්ධනය වුව ද, එළඹෙන චීන නව අවුරුදු නිවාඩුව සමග ඇති විය හැකි සැපයුම් බාධා සැලකිල්ලට ගනිමින් ඉදිරි නිෂ්පාදන අවශ්‍යතා සඳහා අවශ්‍ය තොග කල් තියා ඇණවුම් කිරීම හේතුවෙන් ගැනුම් තොග ඉහළ වේගයකින් වර්ධනය විය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය පසුගිය මාසය හා සැසඳීමේ දී නො වෙනස් ව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, January 16, 2020