“ව්‍යවහාර මුදල් නිකුතුව හා කළමනාකරණයෙහි සැත්තෑ වසරක ගමන්මඟ” පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ ග්‍රන්ථයක්

ශ්‍රී ලංකාවේ මේ දක්වා භාවිත වූ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ මාහැඟි ග්‍රන්ථයක් “ව්‍යවහාර මුදල් නිකුතුව හා කළමනාකරණයේ සැත්තෑ වසරක ගමන්මඟ” නමින් එළි දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා (විශ්‍රාමික) ශෙලෝමි එච්. ගුණවර්ධන මෙනෙවිය සහ ජ්‍යේෂ්ඨ කළමණාකරු (විශ්‍රාමික) ඩබ්. එම්. කේ. වීරකෝන් මහතාගේ සම කර්තෘත්වයෙන් එළි දුටු මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන බැංකුකරුවන්, සිසුන්, නාණක ශාස්ත්‍රඥයන් සහ සාමාන්‍ය පාඨකයන්ගේ පරිශීලනය සඳහා මෙම ප්‍රකාශනය සම්පාදනය කිරීමේ දී, කර්තෘවරුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙහි සේවය කිරීමෙන් ලද වසර ගණනාවක අත්දැකීම් ඊට උපයෝගී කොට ගෙන ඇත. පුරාණ කාලයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසිවල ආකර්ෂණීය වර්ණ ඡායාරූප රාශියක් ඒවායෙහි ඓතිහාසික විස්තරයන් ද සහිතව මෙහි අඩංගු ය. එමඟින් පසුගිය සැත්තෑ වසරක කාලය පුරා රටේ පැවති දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පිළිබඳ දැක්මක් ද මෙම ග්‍රන්ථය මගින් සැපයෙයි.

මෙම ප්‍රකාශනය පරිච්ඡේද හතකින් සමන්විත වේ. පළමුවන පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සහ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය සම්බන්ධයෙන් එය සතු කාර්යභාරය පිළිබඳ ඓතිහාසික විස්තරයක් සැපයෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද කාලයේ දී සංසරණයෙහි පැවති මුදල් නෝට්ටු සහ කාසි පිළිබඳව දෙවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ. තෙවන පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසි පිළිබඳව ද, සිව්වන පරිච්ඡේදයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසු නිකුත් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳවත් සාකච්ඡා කෙරේ. පස් වන පරිච්ඡේදයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සමරු නෝට්ටු සහ කාසි පිළිබඳ ව දැක්වෙන අතර, ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් නිකුත් කළ කාසි කාණ්ඩය ගැන විස්තර කෙරෙන විශේෂ කොටසක් ද එයට ඇතුළත් ය. සය වන පරිච්ඡේදයෙන් මුදල් නෝට්ටුවල ආරක්ෂණ සලකුණු සාකච්ඡා කෙරෙන අතර, ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කරන සහ කළමනාකරණය කරනු ලබන නෛතික රාමුව සත් වන පරිච්ඡේදයෙන් ආවරණය කෙරේ.

ඉංග්‍රීසි භාෂාවෙන් පළ වී ඇති මෙම ප්‍රකාශනය කොළඹ 01, චැතැම් වීදියෙහි සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුවෙන් එක් පිටපතක් රු.1,000 ක මුදලකට මිල දී ගැනීමට හැකියාව ඇත.

වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර 0112444502 ඔස්සේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුව හෝ 0112477214 ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අමතන්න.

ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රකාශන අලෙවි කවුළුව බැංකු නිවාඩු දිනවල දී හැර, සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා විවෘතව පවතී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, July 16, 2021