මූඩීස් ආයෝජක සේවාව විසින් ශ්‍රී ලංකාවේ බැංකු අංශය පිළිබඳ ව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් දක්වයි

2019 සැප්තැම්බර් මස 27 වැනි දින මූඩීස් ආයෝජක සේවාව මඟින් “ශ්‍රී ලංකාවේ ණය අනුපාතික අඩු කිරීම බැංකුවල ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ඍණ බලපෑමක් ඇති කරයි” යන මැයින් බැංකු අංශය පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වන්නේ මූඩීස් ආයතනය මෙම නිගමනයට එළඹීමේ දී සම්පූර්ණ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බැවින් එය පිළි ගත නො හැකි ප්‍රකාශයක් වන බවයි.

මනා ව පාලනය වූ උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, ණය සහ මුදල් සමස්ත වර්ධනය පහළ යෑම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් පසුගිය මාස එකොළහ තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති සහ මුදල් තත්ත්ව ලිහිල් කිරීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතර, අවස්ථාවන් දෙකක දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 2.50කින් අඩු කිරීම තුළින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ආදායම් ජනිත කරවන ක්‍රියාකාරකම්වල ආයෝජනය කිරීම සඳහා රුපියල් බිලියන 150ක පමණ අමතර අරමුදල් ප්‍රමාණයක් සැපයීම සිදු විය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා දේශීය මුදල් වෙළඳපොළේ රුපියල් ද්‍රවශීලතාව ද වර්ධනය වූ අතර, 2019 මැයි සහ අගෝස්තු මාස තුළ දී පියවර දෙකක දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් අඩු කිරීම හරහා තවදුරටත් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික අඩු විය.

2019 අප්‍රේල් මාසයේ දී බලපත්‍රලාභී බැංකු මත පනවනු ලැබූ තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතික (මෙය 2019 සැප්තැම්බර් මාසයේ දී ඉවත් කරන ලදී) මගින් බැංකු අතර තැන්පතු රැස් කිරීම සඳහා පැවතුණු අහිතකර තරගකාරිත්වය සීමා කිරීම සහ බැංකුවලට ණය පොලී අනුපාතික පහළ දැමීමට සහාය ලබා දීම අපේක්ෂා කරන ලදී. බැංකු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ව තාවකාලික ව පනවන ලද තැන්පතු මත වූ උපරිම සීමාව හේතුවෙන් 2019 අප්‍රේල් මාසය අවසානයේ සිට මාස හතරක කාලයක් තුළ දී බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) පදනම් අංක 284කින් පහළ ගියේ ය. කෙසේ වෙතත්, බැංකු සමඟ අඛණ්ඩ ව සාකච්ඡා කළ ද, කෙටි කාලීන අරමුදල් සහ රජයේ සුරැකුම්පත් මත වූ පොලී අනුපාතික මෙන් ම තැන්පතු පොලී අනුපාතිකවල වූ පහළ යෑමට අනුකූල ව බොහෝ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ යෑමේ නැඹුරුවක් පෙන්නුම් නො කළේ ය.

මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව 2019 සැප්තැම්බර් මස 24 වැනි දින බලපත්‍රලාභී බැංකු ණය පොලී අනුපාතික මත උපරිම සීමා පනවන ලදී. අඩු කළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, අඩු වූ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික, අඩු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ අඩු වූ තැන්පතු පොලී අනුපාතික හේතුවෙන් අරමුදල් පිරිවැය සැලකිය යුතු ලෙස පහළ යෑම සමඟ ණය පොලී අනුපාතික අඩු කිරීම සඳහා බැංකුවලට ප්‍රමාණවත් කාලයක් ලබා දීම තුළින්, බැංකු පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වයට මෙන් ම ලාභදායීත්වයට ඇති වන බලපෑම අවම කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේ ය. අනෙකුත් සාධක ස්ථාවර ව තබා ගනිමින් ණය පොලී අනුපාතික මත සීමා පැනවීම තුළින් බැංකු පද්ධතියේ පොලී ආන්තිකවල සැලකිය යුතු වෙනසක් නො වනු ඇතැ යි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි. 2020 වසරේ මාර්තු මාසයේ දී මෙම ක්‍රියාමාර්ගය නැවත සමාලෝචනය කරන බවට ද මහ බැංකුව නිවේදනය කර ඇත.

තව ද, වඩාත් තාත්වික නාමික හා මූර්ත පොලී අනුපාතිකයන්ගේ සහාය ඇති ව ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල ව වර්ධනය වනු ඇතැ යි අපේක්ෂා කරන අතර, එමඟින් ණය සඳහා වන ඉල්ලුම වැඩි වනු ඇත. එය, පහළ පොලී අනුපාතික යටතේ ණය ගන්නන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩිදියුණු වීම සමඟ ඉදිරියේ දී බලපත්‍රලාභී බැංකු ශක්තිමත් කිරීමට සහාය වනු ඇති අතර, අක්‍රීය ණය ඉහළ යෑමේ අභියෝගය සඳහා ද විසඳුමක් වනු ඇත. එම නිසා, මූඩීස් ආයතනය දරන අදහස මෙන් නො ව, බලපත්‍රලාභී බැංකුවල ණය අනුපාතික සීමා පැනවීම ඒවායේ ණය ශ්‍රේණිගත කිරීම කෙරෙහි ධනාත්මක ව බලපාන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස වේ.

 

 

Published Date: 

Monday, September 30, 2019