තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 ජුනි 19 වැනි දින කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී දියත් කරන ලද අතර එදින මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තිරසාර මූල්‍යයනය පිළිබඳ ව පාර්ශ්වකරුවන් සඳහා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි. මෙය 2019 අප්‍රේල් 10 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයක් (Sustainable Banking Network, SBN) සඳහා වූ ගෝලීය හමුවේ දී මුල් වරට දියත් කරන ලද තිර‍සාර මූල්‍ය පිළිබඳ පෙර දැක්ම ජාතික වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි. 

මෙම පෙර දැක්ම සකස් කිරීමෙහිලා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ද ෆිනෑන්ස් හවුස් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව යන පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලදී. තිරසාර මූල්‍ය සඳහා වූ පෙර දැක්ම සඳහා ලේකම් කාර්යාලය සහ තාක්ෂණික උපදේශක ලෙස ලෝක බැංකුව හා අනුබද්ධිත ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කටයුතු කරනු ලැබූ අතර මේ සඳහා මූල්‍ය අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme) යටතේ වන ජෛව විවිධත්වය සඳහා වූ මූල්‍ය ව්‍යාපෘතිය (Biodiversity Finance initiative, BIOFIN) ඔස්සේ ප්‍රදානය කරන ලදී.

මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මග පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ලද ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණ හිතකාමී, සමාජීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි. මෙමගින් බැංකු හා මූල්‍ය අංශය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රක්ෂණ අංශවල දායකත්වය පුළුල් කිරීමටත්, වඩාත් ශක්තිමත් තිරසාර හරිත ආර්ථිකයක් ගොඩ නැගීමටත් ප්‍රයත්න දරයි. ශ්‍රී ලංකාව තුළ තිරසාර මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික ක්‍රියාකාරකම් මාලාවක් මෙම පෙර දැක්ම තුළින් හඳුන්වා දී ඇති අතර, අදාළ පාර්ශ්වකරුවන් විසින් කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රියාවෙහි යෙදවිය යුතු ක්‍රියාකාරී සැලැස්මක් ද එයට ඇතුළත් වේ. 

තිරසාර මූල්‍ය පිළිබඳ ව ශ්‍රී ලාංකීය පෙර දැක්මේ අන්තර්ගත වන උපාය මා‍ර්ගික ක්‍රියාමාර්ග කාර්යක්ෂම ව හා ඵලදායී ව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කමිටුවක් පත් කර ඇත. මෙමගින් පාර්ශ්වකරුවන් දිරි ගැන්වීම හා ප්‍රගති සමාලෝචනය කිරීම අපේක්ෂිත ය. තිරසාර මූල්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව සිය පුහුණු කිරීමේ කේන්ද්‍රය වන බැංකු විදු පියස හරහා තිරසාර මූල්‍ය‍ පිළිබඳ ව පුහුණු වැඩසටහන් හඳුන්වා දී තිබේ. මෙලෙස තිරසාර මූල්‍ය පිළිබඳ ව දැනුම වර්ධනය කිරීමේ ප්‍රථම වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සහයෝගීත්වයෙන් 2019 ජුනි 21 හා 22 යන දිනයන්හි බැංකු විදු පියසේ දී පැවැත්වීමට නියමිත ය. 

 

Published Date: 

Wednesday, June 19, 2019