ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක පස්වන වාරිකය මුදා හරියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ  හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිවිවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ ය. ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ගෙවුම් තුලනය සඳහා සහාය දැක්වීම විස්තීර්ණ ණය පහසුකමෙන් අරමුණු කෙරේ.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය සහ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ යන වඩා දියුණු ප්‍රතිපත්ති රාමුවක් තුළින් ආර්ථිකය ස්ථායී කිරීමට සහ ආර්ථික වර්ධනයට අනුබල දීමට බලධාරීන් විසින් දැරූ ප්‍රයත්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගෙන ඇත. නව දේශීය ආදායම් පනත බලාත්මක කිරීම, ස්වයංක්‍රීය ඉන්ධන මිල නියම කිරීමේ සූත්‍රය ක්‍රියාත්මක කිරීම සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇතුළු ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කඩඉම් අත්කර ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බලධාරීන් ව ඇගැයීමට ලක්කර ඇති අතර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ මෙම වේගය තවදුරටත් තිරසාර ව පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.  

මෙම පස්වන වාරිකය මුදා හැරීම සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විශේෂ ගැනුම් හිමිකම් මිලියන 715.23කට (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,014කට) සමාන වේ. විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩ ව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමටත්, සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර, එ මගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.

 

Published Date: 

Monday, June 4, 2018