කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 5.2හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 11.3හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.5හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජුනි මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

2021 ජූලි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.50ක් ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට -0.05ක් සහ සියයට 0.55ක් ලෙස වාර්තා විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ පොල්, නැවුම් මත්ස්‍ය සහ පොල්තෙල් මිල ගණන් පහළ ගියේය. මේ අතර, ප්‍රවාහන (පෙට්‍රල්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, මාසය තුළ දී වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.7 දක්වා ඉහළ ගියේය. තවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 3.0හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, July 30, 2021