2019 මැයි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.6 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 3.5 දක්වා පහළ ගියේ ය. මේ අතර, 2019 මැයි මාසයේ දී, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4ක් සහ සියයට 6.7ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.9 හි සිට 2019 මැයි මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

මාසික වෙනස් වීම සලකා බැලීමේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 මැයි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 1.1කින් ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ එළවළු, මාළු, දෙහි, අර්තාපල් සහ කිරි පිටි මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතර ව, ආහාර නො වන කාණ්ඩයේ ප්‍රවාහන; සෞඛ්‍යය; සහ විනෝදාත්මක හා සංස්කෘතික උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් මෙම මාසය තුළ දී ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, June 21, 2019