2019 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන පහළ යෑමට වඩා වැඩි අගයකින් අපනයන පහළ යෑම හේතුවෙන් 2019 ජූලි මාසයේදී වෙළඳ හිඟය තරමක් පුළුල් විය. පසුගිය මාස කිහිපයකදීම ස්ථාවර වර්ධනයක් වාර්තා කළ අපනයන ආදායම 2019 ජූලි මසදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.0 ක අඩුවීමක් වාර්තා කළ අතර ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් පහළ ගියේය.

2019 ජූලි මාසයේ දී අපනයන ආදායම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධනවල අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම අඩුවීම සහ 2018 ජූලි මාසයේ දී නාවික යාත්‍රාවක් අපනයනය කිරීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයේදී ඉහළ අපනයන අගයක් වාර්තා කිරීමේ බලපෑම හේතු විය.

2019 ජූනි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 316 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 ජූලි මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 717 ක් දක්වා පුළුල් විය.

පාස්කු ප්‍රහාරයෙන් ඇතිවූ බලපෑමෙන් පසුව, සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස ප්‍රගතියක් අත්කර ගනිමින් 2019 ජූලි මාසයේදී, පෙර මාසයට සාපේක්ෂව සියයට 83.4 ක වර්ධනයක් වාර්තා කළේය.

2019 ජූලි මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 1.0 කින් එ.ජ. ඩොලර් මිලියන 626 ක් දක්වා වර්ධනය විය. සමුච්චිත පදනම මත, 2019 වසරේ පළමු මාස හත තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 3,895 ක් ලෙස වාර්තා විය.

2019 ජූලි මස කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ලැබීමක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් ගෙවීම් වාර්තා විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, September 26, 2019