2018 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පීඩනයකට ලක්විය. වෙළඳ හිඟය පුළුල් වීම සහ එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය. ගෝලීය මූල්‍ය වෙළඳපොළ ශක්තිමත් වීම හමුවේ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය. මේ අතර, 2018 සැප්තැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළඳ‍පොළෙහි ද විදේශීය ආයෝජන නැවත රැගෙන යෑම් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වසරේ පළමු මාස අට තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 5.3 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී සියයට 4.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මෙම තත්ත්වයන් හේතුවෙන්, විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් අඩුකිරීම සඳහා විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත්වීම අවශ්‍ය විය. 2018 සැප්තැම්බර් අවසානය වන විට රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.8 කට සමාන වන පරිදි එ.ජ. ඩොලර් බිලියන 7.2 ක මට්ටමක පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, November 29, 2018