කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් වශයෙන් වාර්තා විය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජුනි මාසයේ පැවති සියයට 42.4හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගියේය.

2022 ජූලි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 4.51ක් ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 2.31කින් සහ සියයට 2.20කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව,  ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, ගුවන් ගමන් ගාස්තු සහ බස් ගාස්තු), ආපනශාලා සහ හෝටල් සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්.පී. ගෑස්, දර සහ  නඩත්තු/පිළිසකර කිරීම්) යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර කාණ්ඩය තුළ 2022 ජූලි මාසයේ දී  කිරිපිටි, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගියේය. කෙසේ වුවද,  එළවළු, පොල් සහ පොල් තෙල් මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 29, 2022