වසරකට පෙර පැවති අගය හා සැසඳීමේ දී 2024 වසරේ පෙබරවාරි මාසයේ ආනයන වියදම සහ අපනයන ආදායම යන ද්විත්වයම ඉහළ ගියේය. කෙසේ වෙතත්, අපනයන ඉහළ යෑමට සාපේක්ෂව ආනයන වඩා විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. එසේ වුවද, ප්‍රධාන වශයෙන් ඉන්ධන ආනයන පහළ යෑම හේතුවෙන් පෙර මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ ආනයන වියදම සැලකිය යුතු ලෙස පහළ ගියේය.
මුහුදු ප්‍රවාහන, ගුවන් ප්‍රවාහන සහ පරිගණක, තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීම ආශ්රිත සේවාවන්හි ඉපැයීම් මගින් සේවා අංශය වෙත කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2024 වසරේ පෙබරවාරි මාසයේ දී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.
2024 වසරේ පෙබරවාරි මාසයේ දී, රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන කැපී පෙනෙන ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වාර්තා වූ ඉහළම මාසික ශුද්ධ ලැබීම මෙම මාසයේ දී වාර්තා විය.