ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය විදේශ ආයෝජකයෝ තහවුරු කරති

මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වී තිබේ. 

මෙ වැනි වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙ වැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකි යි.

    • ශ්‍රී ලංකාව මෑතක දී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක (ඉතිහාසයේ වැඩි ම) අගයකින් යුතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (International Sovereign Bond - ISB) සාර්ථක ව නිකුත් කළේ ය. එයට සියයට 2.6ක අධි දායකත්වයක් ලැබී තිබුණි. ලොව විශාලතම සහ ඉහල පිළිගැනීමකින් යුතු යෝජනා අරමුදල් මේ සඳහා විශාල සහභාගීත්වයක් දක්වා තිබිණි.
    • ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් පසු, දළ නිල සංචිත ඓතිහාසික වශයෙන් ඉහළ ම මට්ටම වන ඩොලර් බිලියන 9.9 දක්වා වැඩි විය.
    • ඩොලර් බිලියනයක කාලීන ණයක් ලබා ගැනීම සඳහා යෝජනා කැඳවීමේ දී රජයට ඉතා හිතකර ප්‍රතිචාරයක් ලැබී ඇත. ඒ අනුව මෙම කාලීන ණයෙහි ප්‍රමාණය ඉහළ දමා, එමගින් ලැබෙන අරමුදල් භාවිතා කර, වඩා අධික පිරිවැයකින් යුතු වෙනත් ණය ගෙවා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.
    • ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහළ යෑමත්, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රථම වරට ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන ප්‍රධාන ආර්ථික කලාපයන්හි එකට සිදු වන ආර්ථික වර්ධනයත් හමුවේ, නැගී එන වෙළෙඳපොළවලින් අරමුදල් පිටතට ගලා යෑම මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ  සහ රජයේ රුපියල් සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ශුද්ධ වශයෙන් ගලා ඒම් පැවැතියේ ය.
        • කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් ආයෝජන සඳහා ඩොලර් මිලියන 9.6ක් මේ දක්වා ශුද්ධ ගලා ඒම් වශයෙන් පවතී. 2017 වසරේ දී මෙ වැනි ගලා ඒම් ඩොලර් මිලියන 278.5ක් විය.
        • රජයේ රුපියල් සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත මේ දක්වා ශුද්ධ ගලා ඒම් ඩොලර් මිලියන 6.05කි. 2017 වසරේ දී, මෙ වැනි ගලා ඒම් ඩොලර් මිලියන 441ක් විය.
    • 2017 දී විදේශ සෘජු ආයෝජන ගලා ඒම් ඉතිහාසයේ වැඩි ම අගයවූ  ඩොලර් බිලියන 1.9ක් විය.

මීට අමතර ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ හතරවන සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර, ස්වයංක්‍රීය ඉන්දන මිල සූත්‍රය අනුමත කිරීම මත, 2018 ජූනි මාසයේ දී එහි පස්වන ණය වාරිකය ලැබෙනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2017 ජූනි මාසයෙන් පසු ව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව හා ඉදිරි දැක්ම පිළිබඳ ව ධනාත්මක ප්‍රකාශ කිහිපයක් ම නිකුත් කර ඇත. 

S&P සහ Fitch යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ම ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණ මට්ටමක සිට ස්ථාවර මට්ටමක් දක්වා වෙනස් කර ඇත. 

මේ සියල්ලෙන් දැක්වෙන්නේ විදේශ ආයෝජකයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළි බඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදු කර, එම ධනාත්මක හැඟීම මත ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවට ගලා ඒමට සලස්වා ඇති බවයි.

මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, එ නම් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, ආර්ථිකයේ තරඟකාරීත්වය සඳහා අනුබල දෙන නම්‍යශීලී විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ.

එ මෙන් ම සාධක වෙළෙඳපොළ ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ද, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීම ද, ආයෝජන ප්‍රවර්ධනය වේගවත් කිරීම ද, විදේශ වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීම ද, විදේශ වෙළඳාම පිළිබඳ සාකච්ඡා සම්පූර්ණ කිරීම ද අත්‍යවශ්‍ය වේ. 

තිරසාර ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා දේශපාලන ස්ථාවරත්වය ද අත්‍යවශ්‍ය වේ.

 

Published Date: 

Wednesday, May 2, 2018