ආචාර්ය පී නන්දලාල් වීරසිංහ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

 

ආචාර්ය පී නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ ඔහුට නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීමක් 2011 සැප්තැම්බර් මස 27 දා හිමි වූ අතර එම ධූරයේ රාජකාරී ඇරඹීම සිදු කළේ 2012 සැප්තැම්බර් මස 01 දා ය. ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.  

ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමණාකරන කමිටුවේ සහාපතීත්වය දරන අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කරයි. 

2010 ජනවාරි මස සිට 2012 අගෝස්තු මස දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා භූතානය භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැරුනු ආචාර්ය වීරසිංහ, ඉහත තනතුර සඳහා පත්වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු හා ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ මෙන් ම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද 2007 සිට 2009 වර්ෂය දක්වා කටයුතු කළේ ය. 

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස සම්බන්ධ වී ඇති ආචාර්ය වීරසිංහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථශාස්ත්‍රඥයකු ලෙස 2000 සිට 2004 වසර දක්වා කටයුතු කර ඇත. ඔහු ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි හි ක්‍රෝෆර්ඩ් ස්කූල් ඔෆ් පබ්ලික් පොලිසි හි ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

ඔහු ආර්ථික සංවර්ධන කළමනාකරණය හා බලශක්ති ජනනය පුළුල් කිරීමට අදාළ කැබිනට් අනු කමිටු කිහිපයක් නියෝජනය කර ඇත. තව ද ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයකු ලෙස බලශක්තිය මිලට ගැනීම සම්බන්ධ ගිවිසුම් සමාලෝචනය කිරීම ද සිදු කර ඇත. එ මෙන් ම, පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳපොළ වැඩසටහනෙහි පාලන කමිටුවේ හා ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුවේ සමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා ආයෝජන මණඩලයේ කලමනාකාරීත්ව මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු චීනය හා සිංගප්පූරුව සමඟ මූල්‍ය සේවාවලට අදාළ ද්විපාර්ශ්වික වෙළෙඳ හා සේවා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ දී ප්‍රධානත්වයක් ගනු ලබයි. 

ඔහු  දේශීය හා විදේශීය සඟරාවන්හි පර්යේෂණ ලිපි පළ කර ඇති අතර ඉන් සමහරක් නම් - ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික පත්‍රිකා 2001 හා 2002 – Feasibility of Inflation Targeting in Sri Lanka, SEACEN Occasional Paper Malaysia 2004 on Global Economic Slowdown: Policy Options for SEACEN Economies, Economic Papers Published by the Economic Society of Australia on Why do Estimated Rates of Total Factor Productivity in East Asia Differ so much and Which are Best, ශ්‍රී ලංකා මහ බැංකු මාණ්ඩලික පත්‍රිකා 2005 -  Trade Policy Openness and Economic Performance: Cross-country Evidence හා කැලණිය විශ්වවිද්‍යාලයේ 50 වන සංවත්සරය උදෙසා 2009 වර්ෂයේ පළ කළ සමරු සඟරාවට උද්ධමනය හා මුදල් ප්‍රතිපත්තිය යනාදී ලිපි ඇතුළත් වේ.