නිතර අසනු ලබන ප්‍රශ්න

නිරාකරණ සහ බලගැන්වීම්

තහනම් යෝජනා ක්‍රම

ශ්‍රී ලංකාවේ පිරමිඩ යෝජනා ක්‍රම නීති විරෝධීද?

ඔව්. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පිරමිඩ ආකාරයේ යෝජනා ක්‍රම තහනම් වේ.

වැරදිකරුවන් ලෙස සලකන්නේ පිරමිඩ ක්‍රමයේ ආරම්භකයින් පමණක්ද?

නැත. සෘජුව හෝ වක්‍රව තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කරන, අර්පණය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරණය කරන, මෙහෙයවන, මූල්‍යකරණය කරන, කළමනාකරන, හෝ විධානකරන ඕනෑම පුද්ගලයෙක් වැරදිකරුවන් ලෙස සැලකේ.

පිරමිඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රමයක් යනු කුමක්ද?

පිරමිඩ යෝජනා ක්‍රමයක් යනු;

  1. යෝජනා ක්‍රමයේ ලියාපදිංචි වීමට මුදල් හෝ මූල්‍යමය වටිනාකමක් ගෙවිය යුතු සහ
  2. දැනට සිටිනා සාමාජිකයන් විසින් යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් හඳුන්වා දීම හරහා ඔවුන් බඳවා ගැනීම මත හෝ එවැනි නවකයින් විසින් වැඩි වශයෙන් මුදල් ගෙවීම මත හෝ පදනම්ව එම සාමාජිකයන්ට අඛණ්ඩ කොමිස්/ආදායම පිරිනමන,

තහනම් ක්‍රමවේදයක් වේ.

පිරමීඩ යෝජනා ක්‍රම නොදැනුවත්වම සිදු කළ පුද්ගලයන්ට/ සමාගම්වලට ලබා දෙන දඬුවම් මොනවාද?

පිරමිඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රමයකට සහභාගී වීම සම්බන්ධයෙන් වරදකරු වන ඕනෑම පුද්ගලයෙකු:

- වසර 03 කට නොවැඩි කාලයක් සඳහා සිරගත කිරීම, හෝ
- රුපියල් 1,000,000.00 නොඉක්මවන දඩයක්, හෝ
- සිරගත කිරීම සහ දඩය යන දෙකටම හෝ යටත්වේ.

මෙය බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව දඬුවම් නියම කරනු ලැබේ.

පිරමීඩ යෝජනා ක්‍රම දැනුවත්ව සිදු කළ පුද්ගලයන්ට/ සමාගම්වලට දෙන දඬුවම් මොනවාද?

වෙනත් පුද්ගලයෙකුට හානියක් හෝ අලාභයක් සිදුවන බව දැනුවත්ව හෝ හිතාමතාම සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් දඬුවම වනුයේ:

- වසර තුනකට නොඅඩු සහ වසර පහකට නොවැඩි කාලයක් සඳහා දැඩි සිර දඬුවම්
- රුපියල් 2,000,000.00 ක දඩයක් හෝ යෝජනා ක්‍රමයට සහභාගිවන්නන් වෙතින් ශ්‍රී ලංකා මුදලින් ලැබී ඇති සමස්ත ප්‍රමාණය මෙන් දෙගුණයක්, යන දෙකෙන් වැඩි මුදල.

බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව දඬුවම් නියම කර ඇත.

පිරමිඩ යෝජනා ක්‍රමයක් හඳුනා ගන්නේ කෙසේද?

යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට සහභාගිවන්නන්හට මුදල් හෝ මුල්‍යමය වටිනාකමක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම් සහ ආදායම් උපයා ගත හැකිවන්නේ,

- යෝජනා ක්‍රමයට නව සාමාජිකයින් හඳුන්වාදීම මගින් හෝ
- අලුතින් එක්වන සාමාජිකයන්ගේගේ දායකත්ව/ආයෝජන මුදල වැඩි කිරීම හෝ

මගින්නම් එය පිරමිඩ ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. ඉහත කරුණු හැරුණු විට සලකා බැලිය යුතු තවත් ලක්ෂණ කිහිපයක් තිබේ.

තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල තිබෙන අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ මොනවාද?

  1. ඉපැයීම් සම්බන්ධව ව්‍යාජ / යථාර්ථවාදී නොවන පොරොන්දු ලබාදීම සහ සම්බන්ධ වීම කඩිනම්කරනාකාරයේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම
  2. එවැනි භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ඉල්ලුමක් රඳවාගත නොහැක
  3. මිලදී ගත් භාණ්ඩය නැවත විකිණීය හෝ ආපසු ලබා දිය නොහැකි වීම
  4. යෝජනාක්‍රමයට ඇතුලත්වීමේ ගාස්තුව අසාමාන්‍ය ලෙස ඉහළ විය හැක
  5. කොමිස්/ගෙවීම් විකුණුම් මත නොව නව බඳවා ගැනීම් මත රඳා පවතී
  6. භාණ්ඩ හෝ සේවා විකිණීමට වඩා බඳවා ගැනීම් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම
  7. ව්‍යාපාරික ස්ථානය සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු සොයා ගැනීමට අපහසුය
  8. විකුණුම් හෝ බඳවා ගැනීම් පිළිබඳ නිසි පුහුණු අවස්ථා ලබා නොදේ
  9. මෙහෙයුම් ප්‍රදේශ නිශ්චිතව දක්වා නොමැත
  10. නිසි පාරිභෝගික සේවා සේවාවක් නොමැත

පිරමිඩ යෝජනාක්‍රම වර්ග මොනවාද?

  1. නිරුවත් පිරමිඩ යෝජනා ක්‍රම - බඳවා ගැනීමට ඇතුලත්වීමේ ගාස්තුවක් පමණක් අය කෙරේ.
  2. නිෂ්පාදන මත පදනම් වූ පිරමිඩ යෝජනා ක්‍රම - භාණ්ඩ හෝ සේවා විකිණීමෙන් පුද්ගලයින් බඳවා ගැනීම.

පිරමීඩ යෝජනාක්‍රම තහනම් වන්නේ ඇයි?

පිරමීඩ යෝජනා ක්‍රමයක නිශ්චිත අදියරකදී තවදුරටත් නව බඳවා ගැනීම් සිදු කල නොහැකි බැවින්, සහභාගිවන්නන් විශාල සංඛ්‍යාවකට සහ පහළ මට්ටමේ සිටින ඔවුන් විසින් සම්බන්ධකළ සාමාජිකයන්ට ඔවුන්ගේ ආයෝජනය කළ මුදල් අහිමි වනු ඇත. තවද, එය ජනතාව අතර විශාල නොසන්සුන්තාවයක් ඇති කරන අතර සමස්තයක් ලෙස රට තුළ දැවැන්ත සමාජ හා ආර්ථික ගැටලු ඇති කරයි.

පිරමිඩ යෝජනාක්‍රමයක් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇතිවිට ආයෝජනය කිරීම ආරක්ෂිතද?

නැත. පිරමිඩ ආකාරයේ යෝජනා ක්‍රම ලියාපදිංචි ව්‍යාපාරයක් ලෙස නීත්‍යානුකූල ආයතන යටතේ ලියාපදිංචි වී ඇතත්, පිරමිඩ යෝජනා ක්‍රම සඳහා මුදල් ආයෝජනය කිරීම අනාරක්ෂිත සහ අවදානම් සහගත ය, මන්ද එවැනි ගෙවීම් කිසිදා ආපසු නොදෙන බැවින් හෝ ප්‍රතිසාධනය සඳහා සහතිකයක් නොලැබන බැවිනි.

පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව ප්‍රවේශම් විය යුත්තේ ඇයි?

- පිරමීඩ යෝජනා ක්‍රමවල යෙදීම ශ්‍රී ලංකාව තුළ දඬුවම් ලැබිය හැකි වරදකි.
- සහභාගිවන්නන් විසින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් අහිමි වනු ඇත.
- තහනම් යෝජනා ක්‍රම සඳහා යොමු කිරීම් හේතුවෙන් ජනතාව අතර සමාජ සබඳතාවලට බාධා ඇති විය හැක.
- එය රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකිය.

යෝජනා ක්‍රමයකට ලියාපදිංචි වීමට පෙර සලකාබැලිය යුතු කරුණු මොනවාද?

- යෝජනා ක්‍රමයේ ලක්ෂණ සහ ප්‍රතිලාභ හොඳින් අධ්‍යයනය කිරීම
- එහි පිරමිඩ ආකාරයේ ලක්ෂණ ඇතුළත් වේද යන්න පරීක්ෂා කිරීම
- බොහෝ වංචනික ක්‍රියාකාරකම් නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස සැඟවී ක්‍රියාත්මක වන බැවින් පිරමිඩ යෝජනා ක්‍රම සහ වෙනත් ව්‍යාපාර අතර වෙනස්කම් හඳුනා ගැනීම
- වංචාකරුවන් විසින් භාවිතා කරනා අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම
- මුදල් ඉපැයීම සඳහා යෝජනා ක්‍රම විසින් භාවිතා කරන විධික්‍රම හඳුනා ගැනීම සහ ඉපැයීම් මූලාශ්‍රවල යථාර්ථවාදී බව පරීක්ෂා කිරීම
- සහභාගිවන්නන් සඳහා ලබා දීමට පොරොන්දු වූ ප්‍රතිලාභවල යථාර්ථවාදී බව පරීක්ෂා කිරීම

තහනම් යෝජනා ක්‍රමවලට එරෙහිව ක්‍රියා කිරීමේදී මහජනතාවගේ වගකීම කුමක්ද?

- තහනම් යෝජනා ක්‍රම සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, හැසිරවීම, මූල්‍යකරණය, කළමනාකරණය කිරීම හෝ විධානකරණය නොකිරීම
- වංචනික ක්‍රියාවලට හසු නොවීම
- වහාම නීතිය සහ බලාත්මක කිරීමේ බලධාරීන්ට වාර්තා කිරීම
- දැනුවත් වන්න එමෙන්ම අනෙක් පුද්ගලයින් ද දැනුවත් කරන්න

පිරමිඩ ආකාරයේ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට වාර්තා කළ හැක්කේ කොතැනටද?

මහජනතාවට;

- ළඟම ඇති පොලිස් ස්ථානයට, හෝ
- ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් ආකාරයට පැමිණිලි ඉදිරිපත් කල හැකිය.

ලිපිනය: අධ්‍යක්ෂ, යෝජනා සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.
දුරකථන අංක: 0112477262/0112477276/0112477058
විද්‍යුත් තැපෑල:
ශ්‍රී ලංකා මහ බැංකුවේ FB පිටුව