ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානය

වර්ෂ 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක මූලස්ථානය වූයේ කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටා ඇති “සයිම්ස්“ ගොඩනැගිල්ල යි.  මෙම ගොඩනැගිල්ල කාගිල්ස් නිවස ලෙස ද හැඳින් වේ. බැංකු අධීක්ෂණ, ආර්ථික පර්යේෂණ, රාජ්‍ය ණය සහ ලේකම් දෙපාර්තමේන්තු මෙම ගොඩනැගිල්ලේ පිහිටුවා තිබූ අතර ව්‍යවහාර මුදල් අංශය ද ඇතුළු ව බැංකු කටයුතු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ලද්දේ මහලේකම් ගොඩනැගිල්ලෙහි ය  (මුදල් අමාත්‍යාංශය පිහිටා ඇති භාණ්ඩාගාර ගොඩනැගිල්ල). 

 
1950 දී මහ බැංකු මූලස්ථානයේ පළමු නිවහන වූ කොළඹ කොටුවේ යෝර්ක් වීදියේ පිහිටි සයිම්ස් ගොඩනැගිල්ල 
 
බැංකු කටයුතු සහ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තු මුලින් ම කාර්යයේ යෙදුණු මහලේකම් ගොඩනැගිල්ල (භාණ්ඩාගාර ගොඩනැගිල්ල) 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවට සිය කටයුතු එහි මුල් ගොඩනැගිල්ලේ හිඳිමින් දිගු කලක් පවත්වා ගෙන යෑමට නො හැකි විය.  වර්ෂ 1955 දී, එ නම් ආරම්භයෙන් පස් වසරකට පසු ශ්‍රීමත් ඒ.ජී. රණසිංහ අධිපතිතුමාගේ සමයේ දී, ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් මහ බැංකු මූලස්ථානය සයිම්ස් ගොඩනැගිල්ල ඉදිරිපස පිහිටි “හේමාස්“ ගොඩනැගිල්ලට ගෙන ගියේ ය. හේමාස් ගොඩනැඟිල්ලේ බිම් මහල සම්පූර්ණයෙන් ම බැංකු කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් විය. රාජ්‍ය ණය සහ ලේකම් දෙපාර්තමේන්තු දෙවන මහලේ පිහිටුවී ය.  තෙවන මහලේ අධිපති, නියෝජ්‍ය අධිපති, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සහ ලේකම් කාර්යාලයත් ස්ථාපිත කළේ ය.  වර්ෂ 1958 අගෝස්තු මස 01 වන දින මහ බැංකු පවුලට තවත් වැදගත් සාමාජිකයෙක් සම්බන්ධ විය. ඒ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව යි. ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් හේමාස් ගොඩනැගිල්ලේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට ඉඩකඩ සැලසිය නො හැකි බැවින් එය ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි තරුණ බෞද්ධ සමිති (YMBA) ගොඩනැගිල්ල වෙත ගෙන ගියේ ය. 

 
1955 දී මහ බැංකු මූලස්ථානය රැගෙන ගිය කොළඹ කොටුවේ යෝර්ක් වීදියේ පිහිටි හේමාස් ගොඩනැගිල්ල  
 
1958 දී මහ බැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ පළමු නිවහන වූ කොළඹ, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල  

කරුණු මෙසේ තිබිය දී, ශ්‍රී ලංකා මහ බැංකුවට තමන්ටම අයත් ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය තදින් ම දැනී තිබිණි.  බ්‍රිතාන්‍ය යටත්විජිතයට අයත් කොළඹ කොටුව රැජිණ වීදියේ පිහිටි අක්කරයක භූමිභාගයකින් යුතු ඉඩමක් ‘ක්‍රවුන් ග්‍රාන්ට්‘ එකක් වශයෙන් සිය මූලස්ථානය ඉදිකරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවට තෑගි වශයෙන් ලැබෙන ලදී.

නව ගොඩනැඟිල්ල ඉදිකිරීම පිණිස ප්‍රසිද්ධ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාල හරහා අන්තර්ජාතික වශයෙන් ටෙන්ඩර්පත් කැඳවන ලද අතර, ඒ අතුරින් ජර්මනියේ ‘සුබ්ලින්‘ සමාගම තෝරා ගන්නා ලදී. බෙල්ජියමේ වෑන් ගෝතම් සමාගම වාස්තු විද්‍යාඥයන් විය.  වරලත් වාස්තු විද්‍යාඥ ‘සෙල්වරත්නම් සහ මොන්ක්‘ ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයන් වේ.

දේශීය හා විදේශීය ඉංජිනේරුවන් මෙන් ම වාස්තු විද්‍යාඥයන් ද මෙම කර්තව්‍යය සාර්ථක කරගනු පිණිස ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් උරදුන් දේශීය ශ්‍රමිකයන්, විදෙස් ඉංජිනේරුවන් විසින් නිරන්තරයෙන් ඇගයීමට ලක් කරන ලදී.  එකල කොළඹ නගරය තුළ මහල් පහකට වඩා වැඩි ගොඩනැඟිලි පිහිටා තිබුණේ බොහොම සුළු ප්‍රමාණයක් වන බැවින්, මහලින් මහල ඉහළට නැගෙන මෙම විසල් ගොඩනැඟිල්ල දෑසින් දැක සාක්ෂි දැරීම පිණිස දිනපතා මහජනතාව මෙහි පැමිණ ඇතැයි වාර්තා වේ.

මීළඟ වැදගත් ම අභියෝගය වූයේ විවිධ ගොඩනැඟිලිවල ස්ථානගතව තිබූ මහ බැංකුවේ විවිධ දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානය සතු එකම වහලක් යටට රැගෙන ඒමයි. ඒ අනුව මහ බැංකු පරිපාලනය විසින් දින කීපයක් තුළ දී පෞද්ගලික අංශයේ භාණ්ඩ හුවාමාරුකරුවෙකුගේ සහය ද ඇතිව, හේමාස් ගොඩනැඟිල්ල, YMBA ගොඩනැඟිල්ල, එචිලන් ගොඩනැඟිල්ල සහ මහලේකම් ගොඩනැඟිල්ල ආදී වශයෙන් විවිධ ගොඩනැඟිලිවල ස්ථානගත කර තිබූ මහ බැංකුව සතු සියලුම දෙපාර්තමේන්තු සහ කාර්යාල වර්ෂ 1964 ජූලි මස මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල තුළ ප්‍රතිස්ථාපිත කරන ලදී. එකදු අයිතමයක් හෝ අස්ථානගත නොකර මෙකී ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කිරීම සම්බන්ධයෙන් එවකට අධිපති ඩී.ඩබ්ලිව්. රාජපතිරණ මහතා විසින් මහ බැංකු පරිපාලනය ඇගයීමට ලක්කරන ලද බව වාර්තාවල සඳහන්ය. 

 
1964 දී කොළඹ 1, ජනාධිපති මාවතේ අංක 30 දරන ස්ථානයේ තමන්ගේ ම පරිශ්‍රයක පිහිටුවන ලද මහ බැංකු මූලස්ථානය. මහ බැංකුවේ එවකට පැවැති සියලු ම දෙපාර්තමේන්තුවලට මෙම නව මූලස්ථාන ගොඩනැගිල්ල නිවහනක් විය.  

මෙකී සුවිශේෂී මූලස්ථාන ගොඩනැඟිල්ල කුළුණු තුනකින් සමන්විත වන අතර සෑම කුළුණක් ම මහල් නවය බැගින් යුක්ත වේ. තවද උතුරු සහ දකුණු කුළුණුවල බිම් මහල හා පළමු මහල අතර මහලකි. මහජනතාව, සිය ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි අවශ්‍යතාවන් වෙනුවෙන් සහ දිරාපත් මුදල් නෝට්ටු මාරු කිරීම වෙනුවෙන්, මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි මැදි කුළුණෙහි පිහිටි සුවිශේෂී ස්ථානයක් ගන්නා බැංකු කටයුතු අංශය වෙත පැමිණෙන ලදී. නව වන මහල අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන්ගේ කාර්යාල, රැස්වීම් ශාලාව සහ සම්මන්ත්‍රණ ශාලාව වෙනුවෙන් වෙන් කරන ලදී.

1996 ජනවාරි 31 වැනි දින මුහුණ දුන් ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මහ බැංකු මූලස්ථානයට  බරපතල හානියක් සිදු විය.

වර්ෂ 1996 ජනවාරි මස 31 වන දින, දේශමාන්‍ය ඒ.එස්. ජයවර්ධන අධිපතිතුමාගේ සමයේ දී, සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය, මහ බැංකු ඉතිහාසයේ සිදුවූ ඉතා ඛේදජනක සිදුවීමකි.  මෙම අති ප්‍රබල පිපුරුම හේතුවෙන් මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ලට ඉතා දරුණු ලෙස හානි වූ අතර සේවයෙහි නියුතුව සිටි සාමාජික සාමාජිකාවන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ තවත් විශාල සේවක පිරිසකට දරුණු ලෙස තුවාල සිදුකරමිනි. තාවකාලික විසඳුමක් වශයෙන්, මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු ඉතා ඉක්මණින් රාජගිරියේ පිහිටි ග්‍රාමීය බැංකු කටයුතු හා කාර්ය මණ්ඩල පුහුණු විදුහලෙහි (බැංකු විදු පියෙස) නැවත අරඹන ලදී. පසුව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද සහිතව මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තුරු මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය වර්ෂ 1996 ඔක්තෝබර් මස 24 වන දින ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි 15 සහ 17 මහල් වෙත ගෙන යන ලදී.

මෙ සමයෙහි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් කටයුතු මෙහෙයවන ලද්දේ, භාණ්ඩාගාර ගොඩනැඟිල්ල, මහජන බැංකු මූලස්ථානය, මහජන බැංකු ලේක්සයිඩ් ශාඛාව, ලංකා බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු ගොඩනැඟිල්ල යන ගොඩනැඟිලිවල සිට ය. කොටුව බ්‍රිස්ටල් වීදියෙහි පිහිටි යෝනක ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථාන (MICH) ගොඩනැඟිල්ලෙහි සිට පසුව ව්‍යවහාර මුදල් කවුන්ටරය විවෘත කරන ලදී. මෙම ව්‍යසනයේදී මහ බැංකුවේ සේවය කරමින් සිටියදී දිවි පිදූ එඩිතර සේවක සේවිකාවන් සිහිකරනු වස්, ඔවුනට ගෞරවයක් වශයෙන් ස්මාරකයක් ද මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිරිපිට ඉදිකර ඇත.

විනාශ වූ මූලස්ථාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, මහ බැංකුව විසින් සිය මූලස්ථාන ගොඩනැඟිල්ලට යාබදව තවත් කුළුණු දෙකක් ඉදිකිරීමෙහි කටයුතු අරඹන ලදී.  මෙහි මුල්ගල වර්ෂ 1994 අගෝස්තු මස දී තබා ඒ වන විටත් වැඩ අරඹා තිබිණ.  ජර්මනියේ එච්. සුබ්ලින් ආයතනය විසින් විනාශ වූ ගොඩනැඟිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම, මහ බැංකු ගොඩනැඟිල්ල විස්තාරණය කිරීමේ ඉදිකිරීම් කටයුතු ද භාර ගනිමින් අරඹා ඇත්තේ විස්තරාත්මක වාස්තු විද්‍යාත්මක නිර්මාණය, අභ්‍යන්තර නිර්මාණය, විස්තරාත්මක ව්‍යුහාත්මක සහ විද්‍යුත්-යාන්ත්‍රික නිර්මාණය මෙන් ම කොන්ත්‍රාත් පරිපාලනය යනාදී සේවාවන් සපයන ලද  මධ්‍යම ඉජිනේරු උපදේශක කාර්යාංශයේ (CECB) සහය ද සහිතවය.  

මෙම ව්‍යාපෘතියෙහි මූලික නිර්මාණය, දේශීය වාස්තු විද්‍යා ආයතනයක සහය ද සහිතව ලන්දේසි වාස්තු විද්‍යාඥයන් විසින් සිදුකරන ලදී.  නවවන, දහවන සහ එකොළොස්වන මහල් හරහා දිවෙන නවීන සම්බන්ධකයක් මගින් නව ගොඩනැඟිල්ල පැරණි ගොඩනැඟිල්ල සමඟ සම්බන්ධ කෙරේ.

මෙම එක් කරන ලද නව කුළුණු 2 ද සමඟින් ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිලි පරිශ්‍රය, කාගේත් අවාධාය දිනාගත් කලාපයේ නවීන පන්නයේ මහ බැංකුවක් ලෙස කැපී පෙනෙන බව නො රහසකි. නව පරිශ්‍රය  නවීන සම්මන්ත්‍රණ පහසුකම් සහිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවකින් ද (මහ බැංකුවේ ප්‍රථම අධිපතිතුමන්ට ගරු කිරීමක් වශයෙන් මෙය ‘ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව‘ නමින් නම් කර ඇත) අභ්‍යන්තර සහ අන්තර්ජාල පහසුකම් සහිත නවීන තොරතුරු තාක්ෂණ පහසුකම්වලින් ද, දැනුම පදනම් කරගත් ආයතනික පරිසරයක් නිර්මාණය කරමින් සියලු පහසුකම් සහිත පර්යේෂණ පුස්තකාලයකින් ද සමන්විත වන අතර, ඒ තුළින් නව ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද දායක වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නව මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි සිය මෙහෙයුම් කටයුතු අරඹන ලද්දේ වර්ෂ 1999 ඔක්තෝබර් මස දී ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සංවස්තරය සමරනු වස් නව ගොඩනැඟිල්ල වර්ෂ 2000 අගෝස්තු මස 27 වන දින ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු අධිපති දේශමාන්‍ය ඒ.එස්. ජයවර්ධන මැතිතුමන්ගේ ධූර කාලයේ දී නිල වශයෙන් විවෘත කිරීම සනිටුහන් කරන ලදී. තවදුරටත්, ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් රු. 1,000/- වටිනාකමින් යුතු රිදී සමරු කාසියක් ද, සමරු මුද්දරයක් ද ස්වර්ණ ජයන්ති ප්‍රකාශනය ද නිකුක් කරන ලදී.

"පුනරෝද්ගමනය" - ශ්‍රී ලංකා මහ බැංකුවේ මිය ගිය සේවකයින්ට ගරු කිරීමක් වශයෙන් ඉදි කළ ස්මාරකය  

අද වන විට ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල කුළුණු 05 කින් හා මහල් 14 කින් සමන්විතව ශ්‍රී ලංකාවේ ජනාධිපති නිල නිවසට මං පෙන්වන කොළඹ කොටුව ජනාධිපති මාවත ඔස්සේ අද්විතීය ගොඩනැඟිල්ලක් වශයෙන් වැජඹෙයි.

 
කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ පිහිටා ඇති කුලුණු පහකින් සමන්විත අද පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ අසමසම මූලස්ථාන ගොඩනැගිල්ල. පසුබිමින් දිස්වන්නේ ඉන්දියානු සාගරයයි.