මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව

අධීක්ෂණය සහ නිරීක්ෂණය
මුදල් හා විදේශ විනිමය වෙළෙ‍ඳපොළ ස්ථායීතාව පවත්වා ගැනීම

මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථායීතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරයි.

අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපොළ
අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපොළ යනු ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකුවල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවයන් හා සංචිත හිඟයන් සපුරාලන එක්දින වෙළෙඳපොළකි. එබැවින් ඒක්ෂණ මුදල් වෙළෙඳපො‍ළේ වැදගත් කාර්යභාරයක් වනුයේ ආර්ථිකය තුල ද්‍රවශීලතා කළමනාකරණයට පහසුකම් සැපයීමයි.
එසේ හෙයින් සමස්ත බැංකු ක්‍රමයෙහි ද්‍රවශීලතා අවදානම අවම කිරීමෙහි ලා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි ක්‍රමාණුකූල සහ ස්ථායී ක්‍රියාකාරීත්වය වැදගත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකයන් අනුව සිදුකරන ප්‍රතිමිලදී ගැනීම් ප්‍රතිපාදන හා ප්‍රතිවිකුණුම් පහසුකම් වෙළෙඳපොළ ස්ථායීතාවයට උපාකාරී වේ.
මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික - ප්‍රතිමිලදී ගැනීම් අනුපාතික හා ප්‍රතිවිකුණුම් අනුපාතික විසින් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ අනුපාත සඳහා පොලී කොරිඩෝවක් තනනු ලබන අතර ප්‍රතිමිලදී අනුපාතිකය එහි පහළ සීමාව වන අතර ප්‍රතිවිකුණුම් අනුපාතිකය එහි ඉහළ සීමාව වේ. මෙම කොරිඩෝව කෙටි කාලීන පොලී අනුපාතිකයන්හී ඇතිවිය හැකි ඉහළ උච්චාවචනයන් අඩුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකවල සිදුකරනු ලබන වෙස් කිරීම් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ අනුපාතයන් කෙරෙහි ක්ෂණිකව බලපෑම් ඇති කරයි. ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතිකවල වෙනස්වීම් ඉතා කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිල්පත් ඵලාදායීතාව, වාණිජ පත්‍ර හා වාණිජ බැංකුවල කෙටිකාලීන ණය පොලී අනුපාතික වැනි වෙනත් කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික වෙනස්වීමට බලපායි. මෙම වෙනස්වීම් යම්කිසි කාල සීමාවකට පසු බැංකු ආයතනවල මධ්‍ය කාලීන ණය අනුපාතික, භාණ්ඩාගාර බැඳුම්කරවල ඵලදායීතාවය සහ බැංකු විසින් තැන්පතු සඳහා දෙනු ලබන පොලී අනුපාතික කෙරෙහි බලපායි.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව ආර්ථිකයට සංඥා සම්ප්‍රේෂණය කරන  පළමු පියවර අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළයි. එමනිසා මහ බැංකුව විසින් අන්තර් බැංකු වෙළෙඳපො‍ළ සුපරික්ෂාකාරීව අධීක්ෂණය කර බැංකු ක්‍රමය තුල ඇති ද්‍රවශීලතාව දෛනිකව ගණනය කරනු ලැබේ. දැනට පවත්නා විවට වෙළෙ ඳපොළ කටයුතු යටතේ අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයේ ඉහළ උච්චාවචනයන් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණයක් සඳහා ප්‍රතිමිලදී ගැනීම් හෝ ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වයි. වෙළෙඳපොළ අධි ද්‍රවශීලතා හිඟයක් පවතී නම් වෙළෙඳපොළට ද්‍රවශීලතාවය සැපයීම සඳහා ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වයි. මූල්‍ය වෙළෙඳපොළ කටයුතු සඳහා මහ බැංකුව මැදිහත්වීමේ ප්‍රමාණය සමස්ත ද්‍රවශීලතා හිඟය හෝ අතිරික්තය මත තීරණය වේ.

2012 වසරෙහි දෛනික අන්තර් බැංකු ඒක්ෂණමුදල් වෙළෙඳපොළෙහි ගනුදෙනුවල සාමාන්‍යය රුපියල් බිලියන 13.1 ක් විය.

භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ
භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි. ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා හා ආයෝජන මුලාශ්‍ර සපයයි. තවද, භාණ්ඩාගාර බිල්පත් වෙළෙ ඳපොළෙහි පොලී අනුපාතිකයේ චනයන් කෙටි කාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබාදෙයි. එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හී වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාවය කෙරෙහි ද බලපායි. 2012 දෙසැම්බර් මස අවසානයේදී ද්විතීයික වෙළෙඳපොළෙහි ස්ථාවර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුව ප්‍රමාණය රුපියල් බිලියන 2472 ක් වු අතර ප්‍රතිමිලදී ගැනීම් රුපියල් බිලියන 13,916 ක් විය. තවද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.

විදේශ විනිමය වෙළෙඳපොළ

විදේශ විනිමය වෙළෙඳපොළෙහි පරමාර්ථ අතර භාණ්ඩ හා සේවා ආනයන මිලදී ගැනීම් සඳහා සහ ණය සේවා ආපසු ගෙවීම් සඳහා විදේශීය අරමුදල් ලබා ගැනීම ප්‍රධාන වේ. විදේශ විනිමය වෙළෙඳපොළ (spot market) එතැන් වෙළෙඳපොළ හා ඉදිරි වෙළෙඳපොළ (forward market) යන කොටස් දෙකින් සමන්විත වේ. එක් දිනක් හෝ වැඩකරන දින දෙකක් තුළ විදේශ මුදල් මිලදී ගැනුම්/විකුණුම් සහ බෙදාහැරීම් සිදුකෙරෙන වෙළෙඳපොළ එතැන් වෙළෙඳපොළයි. කලින් නිශ්චය කරගත් මිලකට අනාගතයේ දිනයකදී (සාමාන්‍යයෙන් දින 30,90 හෝ 180) විදේශ විනිමය මිලදි ගැනීමට හෝ විකිණීමට ගිවිස ගැනීම සිදුකරන වෙළෙඳපොළ ඉදිරි වෙළෙඳපොළ වේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථර 2 කින් සමන්විත වේ. එනම් සිල්ලර වෙළෙඳපොළ හා අන්තර් බැංකු හෝ තොග වෙළෙඳපොළ වේ. අන්තර් බැංකු වෙළෙඳපොළෙහි ගනුදෙනු සමහර ඒවා, බැංකු සිය ගනුදෙනුකරුවන් සමඟ සිල්ලර වෙළෙඳපොළේ කරන ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස සිදුවේ. වාණිජ බැංකු අතරින්, බලයලත් විදේශ විනිමය නියෝජතයන්ගෙන් සමන්විත, අන්තර් බැංකු වෙළෙඳපොළ, බැංකු ක්‍රමය තුල ද්‍රවශීලතා සංසරණ ක්‍රියාවලියේ දී බැංකු තුල සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමය තුල වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. විදේශ විනිමය වෙළෙඳපොළින් මූල්‍ය වෙළෙඳපොළකට ඇතිවන ප්‍රධානතම අවධානම සිදුවනුයේ වාණිජ බැංකුවල විදේශ විනිමය ශුද්ධ විවෘත තත්ත්වයට විනිමය අනුපාතයේ දැඩි උච්ඡාවචනය හේතුවෙන් ඇතවින බලපෑම මගිනි. මෙම අවධානම අකාර්යක්ෂම අභ්‍යන්තර පාලන විධි හෝ බාහිර හා අභ්‍යන්තර සාර්ව ආර්ථික තත්ත්වයන් තුලින් ගෙන එන ලද දැඩි අස්ථායීතාව තුලින් ද විය හැකි. තවද එක් වාණිජ බැංකුවක ඇතිවන ප්‍රශ්න සංස්පර්ශක ප්‍රතිපලයක් ලෙස අනෙක් බැංකු කරා ද පැතිර යා හැකිය.
අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළෙහි ගනුදෙනු එතැන්, එක්දින, අත්පිට හා ඉදිරි වෙළෙඳපොළ මත එක්සත් ජනපද ඩොලර් හා ශ්‍රී ලංකා රුපියල් පදනම් වෙමින් සිදුකරයි. සාමාන්‍ය දෛනික අන්තර් බැංකු එතැන් ගනුදෙනු පරිමාව 2005 වසරේදී එ.ජ.ඩොලර් දශලක්ෂ  8 ක් විය. අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වන්නේ ක්‍රමානුකූල වෙළෙඳපොළක් පවත්වා ගැනීම හා විනිමය අනුපාතිකයේ දැඩි උච්චාවචනයන් අඩු කිරීමට අවශ්‍ය වු විට මැදිහත් වීමයි.

2001 ජනවාරි මස පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ රුපියලේ විදේශ මිල තීරණය වනුයේ වෙළෙඳපොළ බලවේග වන ඉල්ලුම හා සැපයුම මතය. එක්සත් ජනපද ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය අනුපාතිකය අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ දී තීරණය ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මැදිහත්වනුයේ ප්‍රධාන වශයෙන් විනිමය අනුපාතිකයන්හී උච්චාවචනයන් වැළැක්වීමට හා ප්‍රශස්ත විදේශ සංචිත මට්ටමක් පවත්වා ගැනීම සඳහාත් ය. ශ්‍රී ලංකා මහ බැංකුව වි‍දේශ විනිමය අලෙවිය හා මිලදී ගැනීම සිදුකරනුයේ වෙළෙඳපොළේ පවත්නා විනිමය අනුපාතිකය අනුවය.
.
ගෙවීම් සහ පියවීම් පද්ධතිය නියාමනය කිරීම

මූල්‍ය ආයතනවල ගිණුම් හිමියන්ගේ (තනි පුද්ගලයින් සහ ආයතනික) මූල්‍ය වගකීම් පියවීම
මුදල් හුවමාරු කරනු ලබන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති තුළිනි. පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් සහ පියවීම් පද්ධතියක, ගනුදෙනුවල වටිනාකමින් සැළකිය යුතු ප්‍රමාණයක් මූල්‍ය වෙළෙඳපොළ තුළ සිදු වුනු ගනුදෙනුවලින් සමන්විත වේ. එ වැනි පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් සහ පියවීම් පද්ධති මෙහෙයුම්වල දී බාධා පැමිණීම් සිදු වන්නේ කලාතුරකිනි. එසේ වුවද එ ලෙස සිදු වන බාධාවක දී ඇති විය හැකි බලපෑම සැලකිය යුතු ලෙස විශාල වන අතර පද්ධතිය සහ එහි සහභාගිත්ව ආයතනවලට පමණක් සීමා නොවී පද්ධතිමය බිඳ වැටීමකට සහ මූල්‍ය කම්පනයකට හේතු විය හැක. මේ හේතුවෙන් මූල්‍ය අංශයේ ස්ථායිතාවයට අහිතකර බල පෑමක් ඇති විය හැක. එම නිසා, විශේෂයෙන්ම පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් සහ පියවීම් පද්ධතිවල සුරක්ෂිතභාවය සහ කාර්යක්ෂමතාව, මූල්‍ය පද්ධතියේ ඵලදායී ක්‍රියාකාරිත්වය සහ ස්ථායිතාව සඳහා බලපාන තීරණාත්මක සාධකයක් වේ.

නෛතික රාමුව
ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධති නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා මෙන් ම මුදල් සේවා සපයන්නන් නියාමනය කිරීම සහ චෙක්පත් විද්‍යුත් මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත (PSSA - Payment and Settlement Systems Act) මගින් සලසනු ලබයි.


ගෙවීම් සහ පියවීම් පද්ධති සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය තුන් ආකාර වේ. එනම්,
01. ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධති අධීක්ෂණය කිරීම
02. පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් සහ පියවීම් පද්ධති මෙහෙයවීම
03. 3. ජාතික ගෙවීම් ප්‍රතිපත්තියක් සැකසීම සහ ගෙවීම් පද්ධති සංවර්ධනය කිරීම

ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත >>
ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධති (රතු පොත) >>

ලංකාසෙට්ල් - තත් කාලීන දළ පියවීම් (RTGS – Real Time Gross Settlement) පද්ධතිය සහ ලංකාසෙක්‍යු
විශාල වටිනාකමකින් යුත් ගෙවීම් සහ සුරැකුම්පත් පියවීම සඳහා යොදාගන්නා පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධතියක් වන ලංකාසෙට්ල් පද්ධතිය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබයි. ලංකාසෙට්ල් පද්ධතියට කොටස් දෙකකින් ඇත. ඒවා නම්, ඉහළ වටිනාකමින් යුතු සහ කාල සංවේදී ගෙවීම් සඳහා වූ තත් කාලීන දළ පියවීම් පද්ධතිය හා නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් සඳහා වූ ලංකාසෙක්‍යු පද්ධතියයි. තත් කාලීන දළ පියවීම් පද්ධතියේ සහ ලංකාසෙක්‍යු පද්ධතියේ ඒකාබද්ධතාව මගින් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනු සඳහා ගෙවීමට එරෙහි ව පැවරීමේ පදනම මත (Delivery versus Payment) ඉතාමත් ම ආරක්ෂිත සුරැකුම්පත් පියවීමේ යාන්ත්‍රණයක් සපයනු ලබයි. මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු 22, බැංකු නො වන ප්‍රාථමික වෙළෙඳුන් 6, සේවක අර්ථසාධක අරමුදල සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ මධ්‍යම සුරැකුම් තැන්පතු ක්‍රමය 2012 වසරේ දෙසැම්බර් මස අග වන විට ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීකරුවන් විය. තත් කාලීන දළ පියවීම් පද්ධතිය මෙහෙයවනු ලබන්නේ මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තුමේන්තුව මගිනි.


තත් කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS – Real Time Gross Settlement System)

තත් කාලීන දළ පියවීම් පද්ධතිය යනු පරිගණක මාර්ගයෙන් සිදු කරනු ලබන අරමුදල් බේරුම් කිරීමේ පද්ධතියකි. එමගින්, එහි සහභාගීකරුවන්ගේ තත් කාලීන දළ පියවීම් ගිණුම්වල ඇති අරමුදල් භාවිතා කර තත් කාලීන පදනමක් මත සෑම ගෙවීම් උපදෙසක් ම වෙන් වෙන් ව සහ අවලංගු කළ නො හැකි ලෙස පිළිවෙළින් පියවීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතා නො කර සිදු කරනු ලබන ගෙවීම්වල වටිනාකමින් සියයට 89 ක් පමණ පියවනු ලබන්නේ තත් කාලීන දළ පියවීම් පද්ධතිය තුළිනි. තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් සහභාගිත්ව ආයතන අතර මෙන්ම සහභාගිත්ව ආයතන හරහා ගනුදෙනුකරුවන්ගේ විශාල වටිනාකමින් යුතු හා වහා පියවිය යුතු රුපියල් ගනුදෙනු බේරුම් කිරිම කරනු ලබයි. තත් කාලීන දළ පියවීම් පද්ධතියේ ගනුදෙනුවලින් බොහොමයක් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ, විවට වෙළෙඳපොළ කටයුතු, විදේශ විනිමය වෙළෙඳපොළ (රුපියල් ගෙවීම්) පාරිභෝගිකයින්ගේ හදිසි ගෙවීම් සහ ලංකාක්ලියර් පෞද්ගලික සමාගම මෙහෙයවනු ලබන පද්ධතිවල ශුද්ධ ශේෂයන් පියවීමට අදාළ ගනුදෙනු වේ.

ලංකාසෙක්‍යු පද්ධතිය තුළ ඇති නිර්ලේඛන සුරැකුම්පත් ඇප ලෙස භාවිතා කර සහභාගී වන වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් සඳහා කිසිදු වියදමකින් තොර දිනය තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම (Intra-day Liquidity Facility) මහ බැංකුව මගින් සපයනු ලබයි. 2012 වසර තුළ දී දිනකට මහ බැංකුව විසින් ප්‍රදානය කරන ලද දිනය තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම්වල සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 15.2 කි.

2012 වසර තුළ දී තත් කාලීන දළ පියවීම් පද්ධතියෙන් බේරුම් කළ ගනුදෙනුවල වටිනාකමෙහි දෛනික සාමාන්‍ය අගය රුපියල් බිලියන 179 ක් වු අතර ගනුදෙනු ප්‍රමාණයෙහි දෛනික සාමාන්‍ය අගය 1176 ක් විය.

ලංකාසෙට්ල් - තත් කාලීන දළ පියවීම් පද්ධතිය >>

ලංකාසෙක්‍යු - නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS – Scripless Securities Settlement System) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS – Scripless Securities Depository System)

නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS) ලංකාසෙක්‍යු පද්ධතියට අඩංගු වේ. විද්‍යුත් හෝ නිර්ලේඛන ආකාරයෙන් රජයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම මෙන් ම ගෙවීමට එරෙහි ව පැවරීම පදනම මත එ වැනි නිර්ලේඛන සුරැකුම්පත් පිළිබඳ වෙළෙඳාම් පියවීම සඳහා ද ලංකාසෙක්‍යු පහසුකම් සලසයි. ඒ අනුව, සුරැකුම්පත් අලෙවි කරනු ලබන සහභාගිවන්නාට ප්‍රමාණවත් තරම් යෝග්‍ය සුරැකුම්පත් ලංකාසෙක්‍යු පද්ධතිය තුළ ඔහුගේ සුරැකුම්පත් ගිණුමේ තිබේ නම් සහ මිල දී ගනු ලබන සහභාගීවන්නා ළඟ ගනුදෙනුව සඳහා ගෙවීමට ප්‍රමාණවත් තරම් අරමුදල් තත් කාලීන දළ පියවීම් පද්ධතියේ ඔහුගේ පියවීම් ගිණුමේ තිබේ නම් පද්ධතිය තුළ ගනුදෙනු පියවනු ලබයි. පද්ධතිය තුළ ඇති සියළු ම පියවන ලද සුරැකුම්පත් ගනුදෙනු අවලංගු කල නො හැක.

නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය යනු රජයේ සුරැකුම්පත් සඳහා භාරකරු මෙන් ම හිමිකම් ලියාපදිංචි කරනු ලබන ස්ථානයයි. නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ ප්‍රතිලාභියාගේ මට්ටමට සුරැකුම්පත්වල හිමිකම වාර්තා කරනු ලබයි. අන්තර්ජාල පහසුකමක් වන ලංකාසෙක්‍යුනෙට් හරහා ඹ්නෑ ම වේලාවක ඔවුන්ගේ ආයෝජන පිළිබඳ එක් එක් දිනයේ විස්තර නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ නිර්ලේඛන සුරැකුම්පත් හිමිකරුවන්ට ලබා ගත හැක.

2009 වසරේ මුල් භාගයේ දී, ගෙවීමට එරෙහි ව පැවරීම මත පදනම් වූ ගනුදෙනු 57 ක් පමණ දිනක දී ලංකාසෙක්‍යු විසින් පියවන ලදී. පද්ධතිය තුළ නොමිලේ පවරන ලද ගනුදෙනුවල සාමාන්‍යය දිනකට 48 ක් විය. සුරැකුම්පත් නැවත ස්ථාපිත කිරීම හා සම්බන්ධ ගනුදෙනු 1969 ක් පමණ දෛනික ව සිදු විය.


ලංකාසෙක්‍යු: නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය >>
ලංකාසෙක්‍යු - පත්‍රිකා මාලාව අංක 07 >>

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (CIT – Cheque Imaging and Truncation System)- අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාශනය

චෙක්පත්, බැංකු අණකර සහ මංගත නො වන මුදල් හුවමාරු වැනි අඩු වටිනාකමින් යුතු ගෙවීම් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳ ව මහ බැංකුව වගකිය යුතු වේ. 2002 වසරේ දී, චෙක්පත් නිෂ්කාශන පහසුකම් සැපයීම සඳහා, මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඒකාබද්ධ හිමිකාරිත්වයක් ඇති සමාගමක් වන ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට, මහ බැංකුව විසින් බලය පවරන ලදි. 2012 වසරේ දී ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දිනකට නිෂ්කාශනය කරන ලද චෙක්පත් ප්‍රමාණයෙහි සාමාන්‍යය 197,343 ක් වූ අතර දෛනික සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 27 ක් විය. ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය හරහා නිෂ්කාශනය කරන ලද චෙක්පත්වල වටිනාකම, මුදල් භාවිතා නොකර සිදු කළ ගෙවීම්වලින් සියයට 12 ක් විය.

2006 වසරේ මැයි මාසයේ දී, චෙක්පත්වල ඡායාවන් විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට සහ නිෂ්කාශනය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම හඳුන්වා දුන්නේ ය. ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මගින් රටෙහි සෑම ප්‍රදේශයකටම ඒකාකාරී ලෙස බලපාන පරිදි T + 1 (නිෂ්කාශන සඳහා චෙක්පත් ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට ලැබෙන දිනය T වන සහ එදිනට පසුව එළැඹෙන ව්‍යාපාරික දිනය 1 වන) පදනම මත චෙක්පත් නිෂ්කාශනය වන කාලසටහනක් හඳුන්වා දෙන ලදී. මෙමගින්, චෙක්පත්වල මූල්‍ය වටිනාකම, ඒවා නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කල දිනට පසු දින ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ හැකියාව වාණිජ බැංකුවලට ලැබිණ.මෙම පද්ධතිය යටතේ, අගරු චෙක්පත් ආපසු හරවා එවනු වෙනුවට අගරු චෙක්පත් නිවේදනයක් (CRN – Cheque Return Notification) නිකුත් කරනු ලබයි. සෑම ව්‍යාපාරික දිනයක දී ම පෙරවරු 8.30 ට තත් කාලීන දළ පියවීම් පද්ධතිය මඟින් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂ පියවනු ලබයි. සෑම ව්‍යාපාරික දිනක දී ම පස්වරු 2.45 ට තත් කාලීන දළ පියවීම් පද්ධතිය මඟින් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිශ්කාෂන පද්ධතියේ පියවීම් නිෂ්කාශනයට (අගරු චෙක්පත් නිවේදනයන්ට) අදාළ පියවීම් කරනු ලැබේ.

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS – Sri Lanka Inter-bank Payment System)
මාර්ගගත නො වන අඩු වටිනාකමක් ඇති අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස මහ බැංකුව විසින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය 1993 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබී ය. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම පිහිටුවීමත් සමග, 2002 වසරේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කටයුතු ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත පවරන ලදී. පූර්ව අනුමැතියක් සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් (සෘජු හර සහ බැර පැවරුම්) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදුකරනු ලබයි. 2010 වසරේ දී, T + 0 පදනම මත ගනුදෙනු පියවීමට පහසුකම් සැලසීම සඳහා මංගත අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් ලෙස ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය වැඩි දියුණු කරන ලදී. බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් පදනම මත විද්‍යුත් මාධ්‍යයෙන් මෙහි ගනුදෙනු නිෂ්කාශනය කරයි. සෑම ව්‍යාපාරික දිනක දී ම පෙරවරු 8.30 ට සහ පස්වරු 3.00 ට තත් කාලීන දළ පියවීම් පද්ධතිය මඟින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ගනුදෙනු වලට අදාළ අන්තර් බැංකු ශුද්ධ ශේෂයන් පියවනු ලබයි.

2012 වසර තුළදී, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා නිෂ්කාශනය කරනු ලැබු ගනුදෙනුවල දෛනික සාමාන්‍ය වටිනාකම බිලියන 2.3කි.

රුපියල් අණකර නිශ්කාෂන පද්ධතිය සහ එක්සත් ජනපද ඩොලර් චෙක්පත් නිෂ්කාශන පද්ධතිය

රුපියල් අණකර නිෂ්කාශන පද්ධතිය සහ එක්සත් ජනපද ඩොලර් චෙක්පත් නිෂ්කාශන ද ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම ක්‍රියාත්මක කරයි. රුපියල් අණකර නිෂ්කාශන පද්ධතිය මගින්, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සමඟ තමන්ගේ නොස්ට්‍රෝ (NOSTRO) ගිණුම් පවත්වාගෙන යන විදේශ බැංකු විසින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ නමට ඇති චෙක්පත් සහ අණකර ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම විසින් නිෂ්කාශනය කරනු ලබයි. සෑම ව්‍යාපාරික දිනක දී ම පස්වරු 2.15 ට තත් කාලීන දළ පියවුම් පද්ධතිය මගින් මෙහි ශුද්ධ නිෂ්කාශන ශේෂය පියවනු ලබයි. 2012 වසර තුළ දී මෙම පද්ධතිය මගින් නිෂ්කාශනය කරන ලද චෙක්පත්වල දෛනික සාමාන්‍ය වටිනාකම රුපියල් මිලියන 1.5 කි.

2002 වසරේ දී දියත් කරන ලද එක්සත් ජනපද ඩොලර් නිෂ්කාශන පද්ධතිය අර්ධ පරිගණකගත එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අණකර නිෂ්කාශන පද්ධතියකි.ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු, විදේශ බැංකු හා අනෙකුත් විනිමය මධ්‍යස්ථාන විසින් නිකුත් කරනු ලබන, ශ්‍රී ලංකාවේ ආයතනවලට හා පුද්ගලයින්ට ගෙවන ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අණකරන එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අණකර මෙමගින් නිෂ්කාශනය කෙරේ. එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අණකර නිෂ්කාශනය කිරීම සහ පියවීම සඳහා ගතවන කාලය සති තුනක සිට දින හතරක පමණ කාලයක් දක්වා අඩුකිරීමට මෙමගින් හැකිවිය. නිෂ්කාශන වියදම් සඳහා බැංකුවලින් අය කරනු ලබන මුදල සැලකිය යුතු ලෙස අඩු කිරීමට ද මෙම පද්ධතිය ඉවහල් විය. මෙයට පෙර චෙක්පත් සහ අණකර අදාල විදේශ රටවල ඇති බැංකුවලට නිෂ්කාශනය සඳහා යැවීමට සිදු වීම එයට හේතුව විය. වර්තමානයේ දී ඒවා මෙ රටේ දී ම නිෂ්කාශනය කෙරේ. පෞද්ගලික වාණිජ බැංකුවක පවත්වාගෙන යන සහභාගිත්ව ආයතනවල ගිණුම් හරහා එක්සත් ජනපද ඩොලර් නිෂ්කාශන පද්ධතියේ අන්තර් බැංකු නිෂ්කාශන ශේෂ පියවීම සිදු වේ. 2012 වසරේ දී නිෂ්කාශනය කරන ලද චෙක්පත් ප්‍රමාණයෙහි දෛනික සාමාන්‍ය අගය 221 ක් වූ අතර දෛනික සාමාන්‍ය වටිනාකම එක්සත් ජනපද ඩොලර් 850,152 ක් විය.

සාමාන්‍ය කොටස් වෙළෙඳාම් පද්ධතිය සහ ණය සුරැකුම්පත් වෙළෙඳාම් පද්ධතිය

කොළඹ කොටස් වෙළෙඳපොළ මංගත පද්ධති දෙකක් ක්‍රියාත්මක කරයි. ඒවා නම් කොටස් තත් කාලීන ව වෙළෙඳාම් කිරීම සඳහා වන ස්වයංකෘත වෙළෙඳාම් පද්ධතිය (ATS – Automated Trading System) සහ රජයේ සුරැකුම්පත්වල හා සාංගමික ණය සුරැකුම්පත්වල හිමිකාරත්වය වෙළෙඳාම් කිරීම සඳහා වන ණය සුරැකුම්පත් වෙළෙඳාම් පද්ධතිය (DEX – Debt Securities Trading System) වේ. ස්වයංකෘත වෙළෙඳාම් පද්ධතිය සහ ණය සුරැකුම්පත් වෙළෙඳාම් පද්ධතිය තුළ සෘජු සහභාගීකරුවන් ලෙස සුරැකුම්පත් හුවමාරු කොමිසම (SEC – Securities Exchange Commission) විසින් බලපත්‍ර නිකුත් කර ඇති ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් ක්‍රියා කරයි. 2012 වසරේ දෙසැම්බර් මස අග වන විට සෘජු සහභාගීකරුවන් 28 කට ද, සාමාජික ව්‍යාපාරික ආයතන 15 කට ද, වෙළෙඳාම් සාමාජිකයින් 13 කට ද ණය සුරැකුම්පත් වෙළෙඳ පද්ධතිය තුළ වෙළෙඳාම් කිරීමට අවසර ලබා දී තිබුණි.

මූල්‍ය සමූහායතන අවේක්ෂණය

විශාල මූල්‍ය සමූහායතනවල, විශේෂයෙන් ම සමූහායතනවල කොටසක් ලෙස බැංකු ඇති සමූහායතනවල පැවතීම මෙම වකවානුවේ දී ඉහළ අධීක්ෂණයක් සැලකිය යුතු ලෙස යොමු විය යුතු වෙනත් ක්ෂේත්‍රයකි. එ වැනි මූල්‍ය සමූහායතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම ඉතා වැදගත් සහ සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වී ඇත. ඒ තමන්ගේ ක්‍රියාකාරකම්වල එකිනෙකට බල පෑ හැකි ස්වභාවයන් නිසා පැන නැගිය හැකි පද්ධතියට සම්බන්ධ ව සිදු විය හැකි අවදානම හේතුවෙනි. එකිනෙකට විරුද්ධ කොටස් හිමිකාරත්ව විශාල ප්‍රමාණයක් තිබීම, අධ්‍යක්ෂවරුන් පොදු වීම සහ සමාගම් අතර ගනුදෙනු සිදු වීම මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සැළකිල්ලක් දැක්විය යුතු ක්ෂේත්‍ර වේ. මේ නිසා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා සුබවාදී නො වන අභිමතාර්ථ අතර ගැටුම් ඇති වීම සහ බලය අනිසි ලෙස යෙදීම ප්‍රතිඵල ලෙස ඇති විය හැක.

මූල්‍ය පද්ධතිය තුළ විවිධාකාර නියාමන පවතින බැවින්, බොහෝ විට සමූහායතන අධීක්ෂණය කිරීම සඳහා වන නියාමන සමීප සහයෝගීතාව සහ අධීක්ෂණය අවශ්‍ය වන නියාමන කිහිපයක් යටතට වැටේ.

එම නිසා, සමූහායතනවල පද්ධති සම්බන්ධ ව සිදු විය හැකි අවදානම අධීක්ෂණය කිරීමට මහ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම, ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අයත් වන මූල්‍ය සමූහායතන සඳහා වන නියාමකයින්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇත. මූල්‍ය සමූහායතන හඳුනා ගැනීම සහ අර්ථ දැක්වීම, එක් එක් නියාමකයින්ගේ කාර්යයන් හඳුනා ගැනීම, නියාමකයින් අතර අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගනිමින් එ වැනි සමූහායතනවල පද්ධති සම්බන්ධ ව සිදු විය හැකි අවදානම තක්සේරු කිරීම, ඒකාබද්ධ ශෛලියකින් අදාළ ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ක්‍රියා පරිපාටියක් නිර්දේශ කිරීම හා මූල්‍ය සමූහායතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධ ව පවතින සීමා ප්‍රකාශ කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ නියෝගයට අයත් වේ.

මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ මූලික වාර්තාව 2007 වසරේ මුල් කාලයේ දී සම්පූර්ණ කළේ ය.


අවසාන වශයෙන් ණය දෙන්නා
හදිසි හෝ වහා සිදු විය හැකි පද්ධතිමය බැංකු හෝ මූල්‍ය අර්බුද තත්ත්වවල දී, ණය ගෙවීමේ හැකියාව ඇති බැංකු ආයතනවලට අද්‍රවශීල කිරීම සඳහා මහ බැංකුව පිළි ගත් ඇප මත ණය සැපයිය හැක.මෙම පහසුකම “අවසාන වශයෙන් ණය දීමේ පහසුකම” ලෙස පොදුවේ හැඳින් වේ.
search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව
මූල්‍ය ක්‍රමය පිළිබඳව
 
මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
  මූල්‍ය ක්‍රමයේ ව්‍යුහය
  මූල්‍ය ක්‍රමයේ අංශ
නියාමනය සහ අධීක්ෂණය
 
බැංකු නියාමනය සහ අධීක්ෂණය
  මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය
  කල්බදු මූල්‍ය ආයතන නියාමනය සහ නිරීක්ෂණය
  ප්‍රාථමික වෙළෙන්ඳන් නියාමනය සහ අධීක්ෂණය
අධීක්ෂණය සහ නිරීක්ෂණය
 
මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළවල ස්ථායීතාව පවත්වාගෙන යාම
  ගෙවීම් සහ පියවීම් පද්ධති අධීක්ෂණය
  ඒකරාශී වු මූල්‍යායතන අධීක්ෂණය
  අවසාන ණය දෙන්නා
මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව
   
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services