මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව

අධීක්ෂණය සහ නිරීක්ෂණය
මුදල් හා විදේශ විනිමය වෙළෙ‍ඳපොළ ස්ථායීතාව පවත්වා ගැනීම

මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථායීතාව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරයි.

අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපොළ
අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් එක් දිනක් සහිත මුදල් වෙළඳපොළක් වන අතර එය වාණිජ බැංකුවල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සහ සංචිත හිඟයන්  කළමනාකරණය කර ගැනීමට උපාකාරී වේ. එබැවින් ඒක්ෂණ මුදල් වෙළෙඳපො‍ළෙහි වැදගත් කාර්යභාරයක් වනුයේ අන්තර් බැංකු වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව කළමණාකරණය කිරීම සඳහා පහසුකම් සැපයීමයි. 

අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපො‍ළෙහි ක්‍රමවත් / විධිමත් සහ ස්ථායි ක්‍රියාකාරීත්වය සමස්ථයක් ලෙස බැංකු පද්ධතියෙහි ද්‍රවශිලතා අවදානම අවම කිරීම සඳහා වඩාත් වැදගත් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සැපයීම දේශීය මුදල් වෙළඳපොළෙහි ස්ථායිතාවය පවත්වාගැනීමට උපකාරී වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නික්‍ය ණය සහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපොළෙහි ඉහළ සීමාව සහ පහළ සීමාව තීරණය කරනු ලබන  අතර එයින් නිත්‍ය පොලී අනුපාතික  කොරිඩෝව නිර්මාණය වේ. මෙලෙස, නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව මඟින්  කෙටිකාලීන වෙළඳපොළ පොලී අනුපාතිකයන්හි විය හැකි දැඩි. විචලනයන් සීමා කෙරේ.

මහ බැංකුවේහි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්හි වෙනස්වීම් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි පොලී අනුපාතිකයන් කෙරෙහි ක්ෂණිකව ම බලපායි. ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්හි වෙනස්වීම් ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ දී භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකාවල එලදා අනුපාතිකයන් කෙරෙහි මෙන්ම වාණිජ බැංකුවල කෙටිකාලීන ණය පොලී අනුපාතිකයන් කෙරෙහි බලපායි. මෙම වෙනස්කම් බැංකුවල මැදි කාලීන ණය අනුපාතික සහ තැන්පතු අනුපාතික මෙන්ම අනෙකුත් වෙළඳපොළ එලදා අනුපාතිකයන් කෙරෙහි යම් කිසි කාල පසුවීමකට පසුව බලපායි. අන්තර් බැංකු වෙළෙඳපොළ  බැංකු පද්ධතියෙහි ද්‍රවශිලතා මට්ටම කෙරෙහි විටින් විට අවශ්‍ය ගැලවීම කරනු ලබයි. අන්තර් බැංකු ඒක්ෂණ  පොලී අනුපාතිකයන්ගේ නිරන්තර උච්චාවචනයන් - නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව තුල දී වුවද - හිතකර නොවේ. මෙයට හේතුව මෙම පොලී අනුපාතිකයන් පාදක අනුපාතයක් ලෙස භාවිතා කරනු ‍ලබන අනෙකුත් වෙළඳපොළ පොලී අනුපාතික/ මිල ගණන් මෙයන් දැඩි උචිචාවචනයට භාජනබ වීමයි.

සාමාන්‍යයෙන් එක්දින ඒකෂණ මුදල් අනුපාතිකයෙහි අවම විචලනයකින් යුතුව පවත්වාගෙන යා හැකි මට්ටමක ද්‍රවශිලතාවයක් තබා ගැනීමට මහ බැංකුව අපේකෂ කරයි.  සාමාන්‍යයෙන්  වෙළඳපොළ ද්‍රවශීලතාවයෙහි සුළු හිඟයක් පවත්වාගෙන යාමෙන් ණය ගන්නා බැංකුවලට මහ බැංකුවේ කොන්දේසිවලට යටත්ව ණය ලබා ගැනීමට සිදුවන හෙයින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතිකයන් අපේකෂිත මට්ටමක පවත්වා ගැනීමට පහසු කෙරේ. අතිරික්ත ද්‍රවශිලතාවක් පැවතීමේදී වාණිජ බැංකුවලට මෙවැනි බලපෑමකට යටත් වීමක් සිදු නොවේ. වෙළඳපොළට ද්‍රවශිගතාව මුදා හැරීමට මෙන්ම වෙළඳපොළෙන් ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට සහ අන්තර් බැංකු ඒකෂණ මුදල් අනුපාතිකයන් හි අහිතකර විචලනයන්  අවම කිරීම සඳහා  මහ බැංකුව විසින් සිය විවට වෙළඳ ක්‍රියාකාරකම් වන ප්‍රතිමිලදීගැනුම් සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි  මෙන්ම ස්ථාවර පදනම මත භාණ්ඩාගාර බිල්පත් විකිණීම සහ මිලට ගැනීම  තීරණය කරන ලද වටිනාකමට කිරීම සඳහා පවත්වාගෙන යනු ලබයි. මහ බැංකුව වෙළඳපොලට කරනු ලබන මැදිහත් වීමේ ප්‍රමාණය තීරණය වන්නේ සමස්ථ අතිරික්ත ද්‍රවශිලතාව හෝ හිඟ ද්‍රවශිලතාව, පවතින වෙළෙඳපොළ පොලී අනුපාතවල මට්ටම සහ ‍රටේ සාර්ව ආර්ථික පරිසරය යනාදිය මතය.

සංඛ්‍යා සටහන 1
අන්තර් බැංකු ඒක්ෂණ  මුදල් වෙළෙඳපො‍ළ
වර්ෂය බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි පරාසය දෛනික සාමාන්‍ය ගනුදෙනු පරිමාව (රු.බිලියන)
2013 7.61% – 9.84% 8.6
2014 5.72% - 7.68% 9.1
2015 (මැයි මාසය දක්වා) 5.80% - 7.00% 9.9


භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ
භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ මුදල් වෙළෙඳපොළේ තවත් එක් කොටසකි. ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් මුදල් වෙළෙඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවලට විකල්ප ද්‍රවශීලතා හා ආයෝජන මුලාශ්‍ර සපයයි. තවද, භාණ්ඩාගාර බිල්පත් වෙළෙ ඳපොළෙහි පොලී අනුපාතිකයේ චනයන් කෙටි කාලීන වෙළෙඳපොළ පොලී අනුපාතිකවලට පදනමක් ද ලබාදෙයි. එසේ හෙයින් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ ගනුදෙනු පරිමාව හා පොලී අනුපාතිකයන්හී වෙනස්වීම මූල්‍ය ආයතනවල වියදම, ලාභදායිත්වය හා ද්‍රවශීලතාවය කෙරෙහි ද බලපායි. 2014 දෙසැම්බර් මස අවසානයේදී ද්විතීයික වෙළෙඳපොළෙහි ස්ථාවර පදනමක් මත භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුව ප්‍රමාණය රුපියල් බිලියන 1,547 ක් වු අතර ප්‍රතිමිලදී ගැනීම් රුපියල් බිලියන 13,514 ක් විය. තවද ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවට වෙළෙඳපොළ කටයුතු හැසිරවීමේ දී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන ඇපකරයක් ලෙස යොදා ගනී.

විදේශ විනිමය වෙළෙඳපොළ
ශ්‍රී ලංකාවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථර දෙකකින් සමන්විත වේ. එනම් පුද්ගල හෝ සිල්ලර වෙළෙඳපොළ හා අන්තර් බැංකු හෝ තොග වෙළෙඳපොළයි. සිල්ලර වෙළෙඳපොළ, ඒකපුද්ගල හෝ ආයතනික ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවලින්  සමන්විත වන අතර අන්තර් බැංකු වෙළෙඳපොළ මුලිකවම සියලුම බලපත්‍රලාභී වාණිඡ බැංකුවලට අයත් බලයලත් විදේශ විනිමය වෙළෙඳුන් අතර සංවිධානය වී ඇත. මුදල් හුවමාරුව හරහා බැංකු ක්‍රමය තුල ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමට අන්තර් බැංකු වෙළෙඳපොළ උපකාරී වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ප්‍රධාන  කාර්යයන් දෙකකි. එනම්, එක් රටක මුදල් ඒකක වෙනත් රටක මුදල් ඒකක වලට හුවමාරු කිරීම සහ විවිධ ව්‍යුත්පන්න උපකරණ භාවිතයෙන් විදේශ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් මඟින් ඇතිවන අවදානම් අවම කිරීමට උපකාරී වීමයි. විදේශ විනිමය  වෙළෙඳපොළෙහි ඉහත ලක්ෂණ භාණ්ඩ හා සේවා ආනයන මිලදී ගැනීමට, අපනයන ප්‍රවාහ පරිවර්තනයට සහ අනෙකුත් විදේශ මුදල් ගනුදෙනු සඳහා සහාය වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති ප්‍රධානම අවදානම වනුයේ  විනිමය අනුපාතිකයේ සිදුවන උච්ඡාවචනයයි. එනම් එක් මුදල් වර්ගයක් වෙනත්  මුදල් වර්ගයකට  හුවමාරු කිරීමේදී භාවිත වන විනිමය අනුපාතිකය දැඩි ලෙස උච්ඡාවචනය වීමයි. විදේශ විනිමය අනුපාතිකයේ දැඩි උච්ඡාවචනය විදේශ විනිමය  වෙළෙඳපොළෙහි අස්ථායීතාවයට හේතුවන අතර විදේශ විනිමය වත්කම් සහ වගකීම්  වල වටිනාකමට ද බලපෑම් ඇතිකරයි. විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති හුවමාරු (Swaps), විකල්ප (Options) සහ ඉදිරි ගනුදෙනු (Forwards) වැනි ව්‍යුත්පන්න උපකරණ මෙම විනිමය අනුපාතිකයේ උච්ඡාවචනය අවම කිරීමට උපකාරී වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ගනුදෙනු එතැන් වෙළෙඳපොළ (spot market) සහ ඉදිරි  වෙළෙඳපොළ (forward market) හරහා සිදුවේ. එතැත් වෙළෙඳපොළ යනු විදේශ මුදල් මිලදී ගැනුම්/විකුණුම් ගනුදෙනු සිදුවු දිනයේම (Cash basis), වැඩකරන ඊළඟ දිනයේදී (Tom basis) හෝ වැඩකරන දින දෙකක් තුළ (Spot basis) බෙදාහැරීම්  සිදුකෙරෙන  වෙළෙඳපොළයි.  කලින් නිශ්චය කරගත් මිලකට අනාගතයේ දිනයකදී විදේශ විනිමය මිලදී ගැනීමට හෝ විකිණීමට ගිවිස ගැනීම සිදුකරන වෙළෙඳපොළ ඉදිරි වෙළෙඳපොළ වේ. 2014 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 වැනි දින දක්වා දේශීය අන්තර් බැංකු විදේශ විනිමය ගනුදෙනු පරිමාව එ.ජ. ඩොලර් මිලියන 15,477.74 ක් සහ සාමාන්‍ය දෛනික ගනුදෙනු පරිමාව එ.ජ. ඩොලර් මිලියන 63.96 ක් ලෙස වාර්තා විය.

වෙළෙඳපොළෙහි ඇතිවන ඉල්ලුම් හා සැපයුම්  බලවේගයන්ගේ ස්වාධීන ගැලපුම් මත විනිමය අනුපාතිකය තීරණය වන පාවෙන විනිමය  අනුපාතික ක්‍රමයක් 2001 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. 2012 පෙබරවාරි 09 වැනි දින විදේශ විනිමය ප්‍රතිපත්තිය වෙනස් වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකයේ අධික උච්ඡාවචනය පාලනය කිරීම අරමුණු කරගනිමින් මිල ඉලක්කයන් වෙනුවට  ප්‍රමාණයන් ඉලක්ක කරගනිමින්  වෙළෙඳපොළට මැදිහත්වීම සිදුවිය. වෙළෙඳපොළෙහි වඩාත් සුමට ක්‍රියාකාරීත්වයක්  පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වඩාත් සමීපව අධීක්ෂණය කරනු ලැබේ.

ගෙවීම් සහ පියවීම් පද්ධතිය නියාමනය කිරීම

ගෙවීම් සහ පියවීම් පද්ධති අවේක්ෂණය කිරීම
ගෙවීම් සහ පියවීම් පද්ධති මඟින් පුද්ගලයින්ගේ සහ ආයතනවල මූල්‍ය වගකීම් පියවීම සඳහා, මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වල අරමුදල් පැවරීම සිදු කරනු ලබයි. නව තාක්ෂණික  ක්‍රම භාවිතය සහ ගෝලීය වශයෙන් ගෙවීම් සහ පියවීම් පද්ධතිවල ඇති වු සංවර්ධනයන්ට සමගාමීව යමින් ගෙවීම් පද්ධති පිළිබඳ ක්ෂේත්‍රයන්හි වෙනස්කම් ඇති කිරීම සහා සහභාගිකරුවන් විසින් ගන්නා ලද උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධතිවල මහ පරිමාණ සහ සුළු පරිමාණ යන දෙඅංශයේම ක්‍රමික විකාශනයක්  ඇති විය. ගෙවීම් සහ පියවීම් පද්ධතිවල බිඳ වැටීමක් මඟින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ඉමහත් සහ පුළුල් ලෙස පැතිර යාම මෙන්ම එවැන්නක් මඟින් මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි අන්දමින් ගෙවීම හා පියවීම පද්ධතිවලින් සහ ඒවායේ සහභාගිකරුවන්ගෙන් ඔබ්බටද පැතිරී යන පද්ධතිමය බිඳවැටීමක් හා මූල්‍ය කම්පනයකි සිදු විය හැකිය. එබැවින් මූල්‍ය අංශයේ ස්ථායිතාව සහතික කෙරෙන ආකාරයෙන් ගෙවීම් සහ පිපවීම් පද්ධතීන්හි ස්ථායිතාවය පවත්වා ගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා මහ බැංකුව රට තුල සුරක්ෂිත, විශ්වාසදායී සහ කාර්යක්ෂම ගෙවීම් සහ පියවීම් පද්ධතීන් පවත්වාගෙන යාම සඳහා සිය නියාමන සහ සුපරීක්ෂණ රාමුව ශක්තිමත් කරන ලදි.

ගෙවීම් සහ පියවීම් පද්ධති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංතුවේ කාර්යභාරය තුන් ආකාර වේ. එනම්,

  1. ගෙවීම් නිෂ්කාශන සහ පියවීම් පද්ධති නියාමනය අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම
  2. පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් සහ පියවීම් පද්ධති මෙහෙයවීම
  3. ජාතික ගෙවීම් ප්‍රතිපත්තියක් සැකසීම සහ ගෙවීම් සහ පියවීම් පද්ධති, ඊට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්තධනය කිරීම

නෛතික රාමුව

  • 2005 අංක 28 දරන  ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත (PSSA-Payment and Settlement Systems Act, No. 28 of 2005) මඟින් ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධති නියාමනය, අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම මූල්‍ය සේවා සපයන්නන් නියාමනය කිරීම සහ චෙක්පත් විදයුත් මාධ්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසනු ලබයි.
  • ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නිකුත්  කරන ලද, 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග (Payment Cards and Mobile Payment Systems Regulations No. 1 of 2013)  මගින් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නන්, ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවන්, ගණුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකතන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක ක්‍රියාකරුවන් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියක ක්‍රියාකරුවන්  නියාමනය කිරීම සිදු කරනු ලබයි.

ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත >>
ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධති (රතු පොත) >>

ලංකාසෙට්ල් - තත් කාලීන දළ පියවීම් (RTGS – Real Time Gross Settlement) පද්ධතිය සහ ලංකාසෙක්‍යු
විශාල වටිනාකමකින් යුත් ගෙවීම් සහ සුරැකුම්පත් පියවීම් සඳහා යොදාගන්නා පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධතියක් වන ලංකාසෙට්ල් පද්ධතිය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබයි. ලංකාසෙට්ල් පද්ධතිය කොටස් දෙකකින් සමන්විත වේ. ඒවා නම්, ඉහළ වටිනාකමින් යුතු සහ කාල සංවේදී ගෙවීම් සඳහා වු තත්කාලීන දළ පියවීම් පද්ධතිය හා නිර්ලේඛන සුරැකුම්පත් පියවීම සඳහා වු ලංකාසෙක්‍යු පද්ධතියයි. තත්කාලීන දළ  පියවීම් පද්ධතියේ සහ ලංකාසෙක්‍යු පද්ධතියේ ඒකාබද්ධතාව මගින් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනු සඳහා ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම මත (Delivery versus Payment) ඉතාමත්ම ආරක්ෂිත සුරැකුම්පත් පියවීමේ යාන්ත්‍රණයක් සපයනු ලබයි. 2014 වසරේ සැප්තැප්බර් මස අග වන විට, ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු 25 ක්, බැංකු නොවන ප්‍රථමික වෙළෙඳුන් 8 දෙනෙක්, සේවක අර්ථසාධක අරමුදල සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මධ්‍යම සුරැකුම් තැන්පතු ක්‍රමය, ලංකාසෙට්ල් පද්ධතියේ  සහභාගීකරුවන් විය. තත්කාලීන දළ පියවීම් පද්ධතිය මෙහෙයවනු ලබන්නේ මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව මඟිනි.

තත් කාලීන දළ පියවීම් පද්ධතිය (RTGS – Real Time Gross Settlement System)
තත්කාලීන දළ පියවීම් පද්ධතිය යනු පරිගණක මාර්ගයෙන් අරමුදල් බේරුම් කිරීම සිදු කරනු ලබන පද්ධතියකි. එමඟින්, එහි සහභාගිකරුවන්ගේ තත්කාලීන දළ පියවීම් ගිණුම්වල ඇති අරමුදල් භාවිතා කර තත්කාලීන පදනමක් මත සෑම ගෙවීම් උපදෙසක් ම වෙන් වෙන්ව සහ අවලංගු කළ නොහැකි ලෙස පිළිවෙළින් පියවීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතා නොකර සිදු කරනු ලබන ගෙවීම්වල  වටිනාකමින් සියයට 85න් පමණ පියවනු ලබන්නේ තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළිනි. තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගනුදෙනුවලින් බොහොමයක් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ, විවට වෙළෙඳපොළ කටයුතු, විදේශ විනිමය වෙළෙඳපොළ රුපියල් ගෙවීම් පාරිභෝගිකයින්ගේ හදිසි ගෙවීම් සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම මෙහෙයවනු ලබන පද්ධතිවල ශුද්ධ හේෂයන් පියවීමට අදාල ගනුදෙනු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාසෙක්‍යු පද්ධතියෙහි ඇති නිර්ලේඛන සුරැකුම්පත් ඇප ලෙස තබාගෙන සහභාගී වන වාණිජ බැංකු සහ ප්‍රථමික වෙළෙඳුන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව දිනය තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම (Intra-day Liquidity Facility- ILF) සපයනු ලබයි. 2014 ජනවාරි සිට ඔක්තෝබර් කාලය තුළදි, දිනකට මහ බැංකුව විසින් ප්‍රදානය කරන ලද, දිනය තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම්වල සාමානය වටිනාකම රුපියල් බිලියන 21.33 කි.

2014 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී තත්කාලීන දළ පියවීම් පද්ධතියෙන් බේරුම් කළ ගණුදෙනුවල වටිනාකමෙහි දෛනික සාමානය අගය රුපියල් බිලියන 250 ක් වු අතර ගණුදෙනු ප්‍රමාණයෙහි දෛනික සාමාන්‍ය අගය 1,331 ක් විය.

ලංකාසෙට්ල් - තත් කාලීන දළ පියවීම් පද්ධතිය >>

ලංකාසෙක්‍යු - නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS – Scripless Securities Settlement System) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS – Scripless Securities Depository System)

නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS) ලංකාසෙක්‍යු පද්ධතියට අඩංගු වේ. විද්‍යුත් හෝ නිර්ලේඛන ආකාරයෙන් රජයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම මෙන් ම ගෙවීමට එරෙහි ව පැවරීම පදනම මත එ වැනි නිර්ලේඛන සුරැකුම්පත් පිළිබඳ වෙළෙඳාම් පියවීම සඳහා ද ලංකාසෙක්‍යු පහසුකම් සලසයි. ඒ අනුව, සුරැකුම්පත් අලෙවි කරනු ලබන සහභාගිවන්නාට ප්‍රමාණවත් තරම් යෝග්‍ය සුරැකුම්පත් ලංකාසෙක්‍යු පද්ධතිය තුළ ඔහුගේ සුරැකුම්පත් ගිණුමේ තිබේ නම් සහ මිල දී ගනු ලබන සහභාගීවන්නා ළඟ ගනුදෙනුව සඳහා ගෙවීමට ප්‍රමාණවත් තරම් අරමුදල් තත් කාලීන දළ පියවීම් පද්ධතියේ ඔහුගේ පියවීම් ගිණුමේ තිබේ නම් පද්ධතිය තුළ ගනුදෙනු පියවනු ලබයි. පද්ධතිය තුළ ඇති සියළු ම පියවන ලද සුරැකුම්පත් ගනුදෙනු අවලංගු කල නො හැක.

නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය යනු රජයේ සුරැකුම්පත් සඳහා භාරකරු මෙන් ම හිමිකම් ලියාපදිංචි කරනු ලබන ස්ථානයයි. නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ ප්‍රතිලාභියාගේ මට්ටමට සුරැකුම්පත්වල හිමිකම වාර්තා කරනු ලබයි. අන්තර්ජාල පහසුකමක් වන ලංකාසෙක්‍යුනෙට් හරහා ඹ්නෑ ම වේලාවක ඔවුන්ගේ ආයෝජන පිළිබඳ එක් එක් දිනයේ විස්තර නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ නිර්ලේඛන සුරැකුම්පත් හිමිකරුවන්ට ලබා ගත හැක.

2009 වසරේ මුල් භාගයේ දී, ගෙවීමට එරෙහි ව පැවරීම මත පදනම් වූ ගනුදෙනු 57 ක් පමණ දිනක දී ලංකාසෙක්‍යු විසින් පියවන ලදී. පද්ධතිය තුළ නොමිලේ පවරන ලද ගනුදෙනුවල සාමාන්‍යය දිනකට 48 ක් විය. සුරැකුම්පත් නැවත ස්ථාපිත කිරීම හා සම්බන්ධ ගනුදෙනු 1969 ක් පමණ දෛනික ව සිදු විය.


ලංකාසෙක්‍යු: නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය සහ මධ්‍යම තැන්පතු ක්‍රමය >>
ලංකාසෙක්‍යු - පත්‍රිකා මාලාව අංක 07 >>

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (CIT – Cheque Imaging and Truncation System)- අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාශනය

අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාශනය (Interbank Cheque Clearing) චෙක්පත්, බැංකු අණකර සහ මංගත නොවන මුදල් හුවමාරු ක්‍රම වැනි අඩු වටිනාකමින් යුතු ගෙවීම් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳ ව මහ බැංකුව වගකිය යුතු වේ. චෙක්පත් නිෂ්කාශන පහසුකම් සැපයීම සඳහා, මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයිති සමාගමක් වන ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට මහ බැංකුව විසින් 2002 වසරේදී බලය පවරන ලදි. 2014 ජනවාරි සිට ඔක්තෝබර් කාලය තුළ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දිනකට නිෂ්කාශනය කරන ලද චෙක්පත් ප්‍රමාණයෙහි සාමාන්‍යයය 198,537 ක් වු අතර දෛනික සාමාන්‍යයය වටිනාකම රුපියල් බිලියන 31ක් විය. 2014 වසරේ ප්‍රථම භාගයේදී ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය හරහා නිෂ්කාශනය කරන ලද චෙක්පත්වල වටිනාකම, මුදල් භාවිතා තොකර සිදු කළ ගෙවීම් වලින් සියයට 11.5 ක් විය.

2006 වසරේ මැයි මාසයේදී, චෙක්පත්වල ඡායාවන් විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත්  කිරීමට  සහ නිෂ්කාශනය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම හඳුන්වා දුන්නේ ය.  ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මඟින් රටෙහි සෑම ප්‍රදේශයකටම ඒකාකාරී ලෙස බලපාන පරිදි T+1 (නිෂ්කාශන සඳහා චෙක්පත් ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට ලැබෙන දිනය T වන සහ එදිනට පසුව එළැඹෙන ව්‍යාපාරික දිනය 1 වන) පදනම මත චෙක්පත් නිෂ්කාශනය වන කාලසටහනක් හඳුන්වා දෙන ලදි. මෙමඟින් චෙක්පත්වල මූල්‍ය වටිනාකම, ඒවා න්ෂ්කාශනය සඳහා ඉදිරිපත් කළ දිනට පසු දින ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ හැකියාව වාණිජ බැංකුවලට ලැබිණ. මෙම පද්ධතිය යටතේ, අගරු ‍චෙක්පත් ආපසු හරවා එවනු වෙනුවට අගරු චෙක්පත් නිවේදනයක් (CRN- Cheque Return Notification) නිකුත් කරනු ලබයි. සෑම ව්‍යාපාරික දිනයක දී ම පෙරවරු 8.30ට තත් කාලීන දළ පියවීම් පද්ධත්ය මගින් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂ පියවනු ලබන අතර සෑම ව්‍යාපාරික දිනක දී ම  පස්වරු 2.45ට තත් කාලීන දළ පියවීම්  පද්ධතිය මඟින් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියේ ශුද්ධ ශේෂ පියවීම් නිෂ්කාශනයට (අගරු චෙක්පත් නිවේදනයන්ට) අදාළ පියවීම් කරනු ලැබේ.

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මඟින් ඇති වූ තාක්ෂණික වැඩි දියුණු වීම් තුළින් ලංකාක්ලියර් පුද්ගලික සමාගම T+1 සඳහා නිෂ්කාශනයට චෙක්පත් භාර ගැනීම සඳහා වන කඩඉම් වේලාව දිගු කළ අතර අගරු චෙක්පත් වාර්තා ඉදිරිපත් කිරීමේ කඩඉම් වේලාව අඩුකර ඉදිරියට ගෙන එන ලදි. ඒ අනුව 2013 දෙසැම්ඉර් මස සිට මුළු රටම ආවරණය වනසේ බලපැවැත්වෙන පරිදි T+1 හිදී නිෂ්කාශනය වන චෙක්පත්  තැන්පතු හාරගැනීමේ කාලසීමාව ප.ව. 3.00 දක්වා දිගු කළ අතර චෙක්පත් අරමුදල අදාළ ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම ප.ව. 2.30 දක්වා ඉදිරියට ගෙන එන ලදී.


ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS – Sri Lanka Inter-bank Payment System)
මංගත නො වන අඩු ව‍ටිනාකමක් ඇති අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස 1993 වර්ෂයේදී මහ බැංකුව විසින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබීය. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම  පිහිටුවීමත් සමග, 2002 වසරේදී ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කටයුතු ලංකාක්ල්යර් (පුද්ගලික) සමාගම වෙත පවරන ලදි. පූර්ව අනුමැතියක් සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් (සෘජු හර සහ බැර පැවරුම්) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය,  2010 වසරේදී, T+0 පදනම මත ගනුදෙනු පියවීමට පහසුකම් සැලසීම සඳහා මංගත අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් ලෙස වැඩි දියුණු කරන ලදි. බහුපාර්ශවීය ශුද්ධ පියවීම් පදනම මත විද්‍යුත් මාධ්‍යයන් මෙහි ගනුදෙනු නිෂ්කාශනය  කරයි.  සෑම ව්‍යාපාරික දිනකදීම පෙරවරු 8.30 ට සහ පස්වරු 3.00 ට තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ගනුදෙනුවලට අදාළ අන්තර් බැංකු ශුද්ධ ශේෂයන් පියවනු ලබයි.

2014 ජනවාරි සිට ඔක්තෝබර් කාලය තුළදී, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා නිෂ්කාශනය කරනු බැබු ගනුදෙනුවල දෛනික සාමාන්‍යය වටිනාකම රුපියල් බිලියන 3.6 කි. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම අරමුණු කරගනිමින් එහි සහභාගිත්ව ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 1 දරන ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය පිළිබඳ පොදු විධිවිධාන නිකුත් කරන ලදි.

එක්සත් ජනපද ඩොලර් චෙක්පත් නිෂ්කාශන පද්ධත්ය (US Dollar Cheque Clearing System)
2002 වසරේදී දියත් කරන ලද එක්සත් ජනපද ඩොලර් නිෂ්කාශන පද්ධතිය අර්ධ පරිගණකගත එක්සත් ජනපද ‍‍‍ඩොලර් චෙක්පත් සහ අණකර නිෂ්කාශන පද්ධතියකි. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු, විදේශ බැංකු හා ‍අනෙකුත්  විනිමය මධ්‍යස්ථාන විසින් නිකුත්  කරනු ලබන, ශ්‍රී ලංකාවේ ආයතනවලට හා පුද්ගලයින්ට ගෙවන ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අණකරන එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අණකර මෙමගින් නිෂ්කාශනය කෙරේ. එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අණකර නිෂ්කාශනය කිරීම සහ පියවීම සඳහා ගතවන කාලය සති තුනක සිට දින හතරක පමණ කාලයක් දක්වා අඩුකිරීමට මෙමගින් හැකිවිය. නිෂ්කාශන වියදම් සඳහා බැංකුවලින් අයකරනු ලබන මුදල සැලකිය යුතු ලෙස අඩුකිරීමට ද මෙම පද්ධතිය ඉවහල් විය. මෙයට පෙර චෙක්පත් සහ අණකර අදාළ විදේශ රටවල ඇති බැංකුවලට නිෂ්කාශනය සඳහා යැවීමට සිදුවීම එයට හේතුව විය. වර්තමානයේදී ඒවා මෙ රටේදී ම නිෂ්කාශනය කෙරේ. පෞද්ගලික වාණිජ බැංකුවක පවත්වාගෙන යන සහභාගිත්ව ආයතනවල ගිණුම් හරහා එක්සත් ජනපද ඩොලර් නිෂ්කාශන පද්ධතියේ අන්තර් බැංකු නිෂ්කාශන ශේෂ පියවීම සිදුවේ. 2014 ජනවාරි සිට ඔක්තෝබර් කාලය තුළ නිෂ්කාශනය කරන ලද චෙක්පත් ප්‍රමාණයෙහි දෛනික සාමාන්‍යය අගය 247 ක් වු අතර දෛනික සාමාන්‍යය වටිනාකම එක්සත් ජනපද ඩොලර් 1,072,128 ක් විය.


ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය(Common ATM Switch)

ජාතික ගෙවීම් සභාවේ නිර්දේශයෙන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියෙන් කාඩ්පත් සහ ‍අනෙකුත් ගෙවීම් ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයෙහි පළමු අදියර ලෙස ස්වයංක්‍රීය ටෙලර්ත යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවනු ලබයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයෙහි සාමාජික  ආයතනයන්හි ස්වයංක්‍රීය ටෙලර්ත යන්ත්‍ර කාඩ්පත් හිමියන්ට ‍‍‍රටේ ඕනෑම ස්ථානයක ඇති සාමාජිකත්වය ලබා ඇති ආයතනයක ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය භාවිතා කිරීමේ අවස්ථාව උදාවේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණය, සාමාජික බැංකු වල ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර පද්ධතියට සමිබන්ධ කර ස්වයංක්‍රිය ටෙලර් යන්‍ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ සාමාජිකයින්ගේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් ගනුදෙනු කිරීමේ පහසුකම සලසා ඇත. 2013 ජූලි මස 23 දින දි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ආරම්හ කරන ලද අතර 2014 ඔක්තෝබර් මාසය වන විට බැංකු 7 ක් එහි සාමාජිකත්වය ලබා ගන්නා ලදි.  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත පොදු ගෙවීම් යාන්ත්‍රණයේ ශුද්ධ නිශ්කාශන ශේෂයන් තත්කාලීන දළ පියවීම් පද්ධතිය මඟින් සෑම ව්‍යාපාරික දිනකදීම පෙ.ව. 8.45 ට සහ ප.ව. 3.00 සිදු කරනු ලැබේ.

2013 අංක 01 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මඟින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සැපයුම්කරුවන් නියාමනය කිරීම සඳහා අවශ්‍ය බලය ලබාදෙයි. එකී නියෝග අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ සහ අන්තර්ගත නියමයන් හා  කොන්දේසිවලට අනුකුලව මිස, යම් තැනැත්තෙකු විසින් ගෙවීම් කාඩ්පත් හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්ත වීම හෝ ක්‍රියා කිරීම නොකළ යුතුය. ඒ අනුව 2014 ඔක්තෝබර් මස අවසානය වන විටදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නෙකු ලෙස ක්‍රියා කිරීමට ආයතන 8 කට බලපත්‍ර ලබාදී ඇත. ඊට අමතරව ගනුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකථන පද්ධතියක ක්‍රියාකරුවකු ලෙස කටයුතු කිරීමට මූල්‍ය ආයතන 10 කට සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියක ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කිරීමට ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් දෙදෙනෙකුට ද ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබාදී ඇත.

මූල්‍ය සමූහායතන අවේක්ෂණය

විශාල මූල්‍ය සමූහායතනවල, විශේෂයෙන් ම සමූහායතනවල කොටසක් ලෙස බැංකු ඇති සමූහායතනවල පැවතීම මෙම වකවානුවේ දී ඉහළ අධීක්ෂණයක් සැලකිය යුතු ලෙස යොමු විය යුතු වෙනත් ක්ෂේත්‍රයකි. එ වැනි මූල්‍ය සමූහායතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම ඉතා වැදගත් සහ සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වී ඇත. ඒ තමන්ගේ ක්‍රියාකාරකම්වල එකිනෙකට බල පෑ හැකි ස්වභාවයන් නිසා පැන නැගිය හැකි පද්ධතියට සම්බන්ධ ව සිදු විය හැකි අවදානම හේතුවෙනි. එකිනෙකට විරුද්ධ කොටස් හිමිකාරත්ව විශාල ප්‍රමාණයක් තිබීම, අධ්‍යක්ෂවරුන් පොදු වීම සහ සමාගම් අතර ගනුදෙනු සිදු වීම මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සැළකිල්ලක් දැක්විය යුතු ක්ෂේත්‍ර වේ. මේ නිසා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා සුබවාදී නො වන අභිමතාර්ථ අතර ගැටුම් ඇති වීම සහ බලය අනිසි ලෙස යෙදීම ප්‍රතිඵල ලෙස ඇති විය හැක.

මූල්‍ය පද්ධතිය තුළ විවිධාකාර නියාමන පවතින බැවින්, බොහෝ විට සමූහායතන අධීක්ෂණය කිරීම සඳහා වන නියාමන සමීප සහයෝගීතාව සහ අධීක්ෂණය අවශ්‍ය වන නියාමන කිහිපයක් යටතට වැටේ.

එම නිසා, සමූහායතනවල පද්ධති සම්බන්ධ ව සිදු විය හැකි අවදානම අධීක්ෂණය කිරීමට මහ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම, ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය සහ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අයත් වන මූල්‍ය සමූහායතන සඳහා වන නියාමකයින්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇත. මූල්‍ය සමූහායතන හඳුනා ගැනීම සහ අර්ථ දැක්වීම, එක් එක් නියාමකයින්ගේ කාර්යයන් හඳුනා ගැනීම, නියාමකයින් අතර අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගනිමින් එ වැනි සමූහායතනවල පද්ධති සම්බන්ධ ව සිදු විය හැකි අවදානම තක්සේරු කිරීම, ඒකාබද්ධ ශෛලියකින් අදාළ ආයතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ක්‍රියා පරිපාටියක් නිර්දේශ කිරීම හා මූල්‍ය සමූහායතන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධ ව පවතින සීමා ප්‍රකාශ කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ නියෝගයට අයත් වේ.

මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ මූලික වාර්තාව 2007 වසරේ මුල් කාලයේ දී සම්පූර්ණ කළේ ය.


අවසාන වශයෙන් ණය දෙන්නා
හදිසි හෝ වහා සිදු විය හැකි පද්ධතිමය බැංකු හෝ මූල්‍ය අර්බුද තත්ත්වවල දී, ණය ගෙවීමේ හැකියාව ඇති බැංකු ආයතනවලට අද්‍රවශීල කිරීම සඳහා මහ බැංකුව පිළි ගත් ඇප මත ණය සැපයිය හැක.මෙම පහසුකම “අවසාන වශයෙන් ණය දීමේ පහසුකම” ලෙස පොදුවේ හැඳින් වේ.
search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව
මූල්‍ය ක්‍රමය පිළිබඳව
 
මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
  මූල්‍ය ක්‍රමයේ ව්‍යුහය
  මූල්‍ය ක්‍රමයේ අංශ
නියාමනය සහ අධීක්ෂණය
 
බැංකු නියාමනය සහ අධීක්ෂණය
  මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය
  කල්බදු මූල්‍ය ආයතන නියාමනය සහ නිරීක්ෂණය
  ප්‍රාථමික වෙළෙන්ඳන් නියාමනය සහ අධීක්ෂණය
අධීක්ෂණය සහ නිරීක්ෂණය
 
මුදල් හා විදේශ විනිමය වෙළෙඳපොළවල ස්ථායීතාව පවත්වාගෙන යාම
  ගෙවීම් සහ පියවීම් පද්ධති අධීක්ෂණය
  ඒකරාශී වු මූල්‍යායතන අධීක්ෂණය
  අවසාන ණය දෙන්නා
මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව
   
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services